කැමරා ලෝකයේ දැවැන්තයෙකු (Olympus Pen E-PL9) නවීන පෙනුමකින්

<a href='http://www.slstory.com/?p=11972&preview=true'>කැමරා ලෝකයේ දැවැන්තයෙකු (Olympus Pen E-PL9) නවීන පෙනුමකින්</a>

වර්තමානයේදී බොහෝ දෙනෙකු ඡායාරූප ගැනීම විනෝදාංශයක් ලෙසින් නැතිනම් ආශාව වෙනුවෙන් කරන දෙයක් ලෙසින් ප්‍රගුණ කරනා අතර, ඒ සඳහා බොහෝ දෙනෙකු වෘත්තීය මට්ටමේ කැමරාවක් භාවිත කිරීමට වඩා අත ඇති ස්මාට්ෆෝනයේ කැමරාව භාවිත කිරීමට වඩාත් නැඹුරුතාවක් දක්වයි.

වර්තමානයේ ඇති ස්මාට්ෆෝන් උපාංගයන්ගේ කැමරාවන් වඩාත් දියුණු තාක්ෂණයන් සමගින්, වඩාත් ඉහළ ගුණාත්මකභාවයකින් නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් පෙළැඹෙන්නේද, වර්තමානයේදී ස්මාට්ෆෝනයක් මිලදී ගන්නෙකු විසින් අනිවාර්යයෙන්ම එහි කැමරාව සම්බන්ධයෙන්ද විශේෂ උනන්දුවක් දක්වන බැවිනි.

කෙසේ නමුත් සැබෑ තත්ත්වය වන්නේ නවීන ස්මාට්ෆෝන් කැමරාවන්ට සාමාන්‍ය ඩිජිටල් කැමරාවන් සමගින් පහසුවෙන් තරග කිරීමේ හැකියාව තිබුණත්, වෘත්තීය මට්ටමේ කැමරා සමගින් තවමත් තරග කිරීමේ හැකියාවක් නොමැති බවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ආධුනික පන්තියේ දර්පණ-රහිත කැමරාවක් වුවත් ඉහළම පෙළේ නවීන ස්මාට්ෆෝන් කැමරාවක සෙන්සරයට වඩා ඉතාමත් ඉහළ කැමරා අත්දැකීමක් ලබාදීමට සමත් වනු ඇත.

කැමරා ලෝකයේ අතීතයේ කීර්තිධරයෙකු වන ඔලිම්පස් පෙන් සන්නාමය යටතේ පැමිණෙන Olympus Pen E-PL9 කැමරාව විශේෂ වන්නේ යටකී පසුතලය තුළයි.

මෙම Olympus Pen E-PL9 කැමරාව ආධුනික පන්තියේ දර්පණ රහිත කැමරාවක් වන අතර, වර්තමානයේ දක්නට ලැබෙනා ඉතාම හුරුබුහුටි සංයුක්ත ඩිජිටල් කැමරාවකට වඩා ප්‍රමාණයෙන් විශාල නොවන බැවින්, එය පරිහරණය සහ ගෙන යෑම අසීරු කටයුත්තක් නොවනු ඇත. මෙය ග්‍රෑම් 380කට වඩා බර නොවේ. කෙසේ නමුත් මෙහි සංයුක්ත පෙනුමට වඩා ඉහළ ගුණාත්මක කැමරා අත්දැකීමක් ලබාදීමට මෙම කැමරාව සමත් වන බව නිෂ්පාදකයින් විසින් සහතික කොට සිටී.

මෙම Olympus Pen E-PL9 කැමරාව මෙගා පික්සල් 13ක සෙන්සරයක් සමගින් TruePic VIII සේයා ප්‍රොසෙසරයක් සහ 121-point contrast-detect autofocus හැකියාව එක්තැන්ව පැමිණෙයි. මෙයට මෙගාපික්සල් 16ක සෙන්සරයෙන් ලබාදෙන ගුණාත්මකභාවයෙන් ඡායාරූප ග්‍රහණය කරගැනීමට හැකිවාක් මෙන්ම, full 4K (30 fps) ගුණාත්මක භාවයෙන් වීඩියෝ අන්තර්ගතයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව ද තිබේ. එසේම මෙහි optical image stabilization හැකියාවද තිබෙනා බැවින්, ඔබ ගන්නා ඡායාරූප වේවා, ග්‍රහණය කරගන්නා වීඩියෝ වේවා සෙලවීම්වලින් තොරව, ඉතාමත් සුමට ආකාරයෙන් ලැබෙනු ඇත.

කෙසේ නමුත් මෙහිදී සඳහන් කළ යුතු කරුණක් තිබේ. වර්තමානයේ දක්නට ලැබෙනා ඉහළ පන්තියේ වඩාත් මිලාධික කැමරාවල පැමිණෙන්නේ five-axis stabilization හැකියාව වුවත්, මෙහි දක්නට ලැබෙන්නේ three-axis stabilization හැකියාව වේ. නමුත් මෙය ආධුනික පන්තියේ කැමරාවක්ය යන කරුණ සලකා බලන විට එය අමතක කරදැමීමට හැකියාව ඇත.

මෙහි ස්ථාපිතව පැමිණෙන ප්‍රබල ෆ්ලෑෂරය මගින් ඔබ ගන්නා ඡායාරූපයන් සෑම විටම මනා ආලෝක තත්ත්වයකින් යුතු වන බව සහතික කරනු ඇත. එසේම මෙහි ඇති අඟල් 3ක ස්පර්ෂ තිරය විවිධ කෝණයන්ට හැරවීමේ හැකියාව සහිතව ස්ථාපනය කොට ඇත. මේ නිසා මෙම කැමරාව සංයුක්ත ප්‍රමාණයෙන් යුක්ත වූවත්, පරිශීලකයාට විවිධ කෝණයන්ගෙන් ඡායාරූප පහසුවෙන් ග්‍රහණය කරගැනීමට වැඩි පහසුවක් ලැබෙනු ඇත. මෙයට සෙල්ෆි ඡායාරූපයන් ගැනීමද ඇතුළත් කළ හැකි වීම මෙම කැමරාවට වැඩිමනත් ආකර්ෂණයක් ලබාදෙනු ඇත.

මෙයට අමතරව Olympus Pen E-PL9 කැමරාවේ Bluetooth සහ Wi-Fi ‍රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන් ස්ථාපිතව පවත්නා බැවින්, ඔබට පහසුවෙන් ඔබ ග්‍රහණය කරගන්නා ඡායාරූප නැතිනම් වීඩියෝ ඔබේ ස්මාට්ෆෝනයට මාරු කර සංස්කරණය කිරීමට හෝ සෘජුවම අන්තර්ජාලයේ බෙදාගැනීමට හෝ සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම මූලික පහසුකම්වලට අමතරව Olympus Pen E-PL9 කැමරාවේ RAW අන්තර්ගතයන්ට සහාය ලබාදීම මෙන්ම පැරණි ආකාරයේ ආට් ඡායාරූප ‍ෆිල්ටරයන් 16ක් ස්ථාපිතව තිබීමද දැක්විය හැකිය. මෙහි බැටරිය එක් වරක් ආරෝපණය කළ පසුව උපරිම ඡායාරූප 350ක් දක්වා ග්‍රහණය කරගැනීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

මෙම Olympus Pen E-PL9 කැමරාව ආධුනික පන්තියේ කැමරාවක් ලෙසින් නිෂ්පාදනය කර තිබීම නිසා, මෙහි Auto කැමරා ආකාරය වඩාත් දියුණු කොට තිබේ. එනම් මෙයට ඉහළ බුද්ධිමය හැකියාවකින් යුතුව පරිශීලකයාට ඡායාරූප ගැනීමට ඇවැසි විවිධ වාතාවරණයන් හඳුනා ගැනීමටත්, ඊට ගැළපෙන පරිදි යෝග්‍යම සැකසුම් ස්වයං නිර්ණය කරගැනීමටත් හැකියාව තිබේ.

මෙම Auto ආකාරය තුළදී පවා පරිශීලකයාට වර්ණ, තීව්‍රතාව, ආලෝක තත්ත්වය සහ වෙනත් මූලික සැකසුම් තම මැදිහත්වීමෙන් යුතුව සකසා ගැනීමට අවකාශ ලබාදී තිබීමද විශේෂත්වයකි. එසේම ඡායාරූප ශිල්පයේ පරිචයක් ඇත්තෙකුට වඩාත් ඉහළ නිරවද්‍යතාවකින් සැකසුම් වෙනස් කරගැනීමට ඉඩ ලබාදෙන Advance Photo (AP) ආකාරයද වඩාත් නිර්මාණශීලී ඡායාරූපයන් ගැනීමට ඉඩ ලබාදෙනු ඇත. මේ හරහා ඔබට HDR, light painting, multiple exposures වැනි තාක්ෂණ ක්‍රමයන් භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම පහසුකම් සහ විශේෂාංගයන් සියල්ලම ගත් විට ආකර්ෂණීය වුවත්, නවීන ඩිජිටල් කැමරාවන් සමගින් ඒ එකක්වත් ආගන්තුක නොවනු ඇත. එනමුත් මෙම Olympus Pen E-PL9 කැමරාව සමගින් අවශ්‍ය පරිදි ගලවමින් සවි කළ හැකි ලෙන්ස් පද්ධතියක් පැමිණීම තුළින් මෙහි වටිනාකම තවත් වැඩි වේ. එය ඡායාරූප ශිල්පය පුහුණු වන්නෙකුට වුවත්, ප්‍රවීණයෙකුට වුවත් සිය හැකියාවන් නිර්මාණශීලීව භාවිත කරමින්, ඉහළ ගුණාත්මක මට්ටමක නිර්මාණශීලී ඡායාරූප ගැනීමට මනා පිටිවහලක් සපයන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

More From the Web