ගම්පහ ඝාතන රැල්ල මෙහෙය වූ පස් පොඩ්ඩාට සිදු වූ දේ

<a href='http://www.slstory.com/?p=12616&preview=true'>ගම්පහ ඝාතන රැල්ල මෙහෙය වූ පස් පොඩ්ඩාට සිදු වූ දේ</a>

ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පස් ජාවාරම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරාවට සිදුවූ ඝාතන රැල්ලට අවශ්‍යව සිටි හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා (41) නොහොත් ‘පස් පොඩ්ඩා’ නමැති පාතාල නායකයාත්, ඔහුගේ සගයන් දෙදෙනකුත් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමඟ ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් පෙරේදා (03දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් 44 දෙනකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ගම්පහ පොලිස් වසමේ නැදගමුව, කොටුගොඩ ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පස් ජාවාරම සම්බන්ධයෙන් සිදුවන ඝාතන රැල්ලට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ‘පස් පොඩ්ඩා’ ඇතුළු ඔහුගේ සගයන් එම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු මත එදින අලුයම මෙම වැටලීම සිදු කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. ඒ අනුව කොටුගොඩ ප්‍රදේශයේ නිවාස 4ක් දැඩි සෝදිසියකට ලක්කළ බවද එම උසස් පොලිස් නිලධාරිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ‘පස් පොඩ්ඩා’ නමැතත්තා නැදගමුව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය සඳහන් කරයි. එසේම ඔහුගේ සගයන් දෙදෙනකු වන උඩුගම්පොළ පදිංචි වැල්ලගොඩදී ළහිරු නවෝද පෙරේරා (29) නොහොත් අලයා සහ කොටුගොඩ, නැදගමුව පදිංචි දිසානායක මුදියන්සේලාගේ ප්‍රදීප් සම්පත් (31) යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සෝදිසි මෙහෙයුමේදී අදාළ සැකකරුවන් සිටි නිවෙස් තුළ සඟවා තිබූ ටී 56 ගිනි අවියක්, ඊට යොදන උණ්ඩ 58ක්, ඇමෙරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රිය පිස්තෝලයක්, ඊට යොදන උණ්ඩ 08ක්. 38 වර්ගයේ රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ 03ක් සහ මැගසින් දෙකක් පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

පස් පොඩ්ඩා නමැති පාතාල කල්ලි සාමාජිකයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් පසුගිය දිනෙක ගම්පහ වයි හන්දියේදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ අදාළ ටිපර් රථය මොහු විසින් සැපයීම සම්බන්ධව මේ වනවිට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය පැවැසීය.

පසුගිය ජනවාරි 4 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ චමී නමැත්තා පස් පොඩ්ඩාගේ ගෝලයකු බවටද අනාවරණය වී තිබිණි.

බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්‍ෂණය මත ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ නියෝග මත ගම්පහ සහකාර පොලිස් අධිකාරි ධ් සේනාපති සිල්වා මහතාගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදුකර ඇත.

More From the Web