ආර්ථික ප්‍රගතියක් පෙන්වූවද අවදානම් තත්ත්වයක් – IMF

<a href='http://www.slstory.com/?p=12925'>ආර්ථික ප්‍රගතියක් පෙන්වූවද අවදානම් තත්ත්වයක් – IMF</a>

ශ්‍රී ලංකා ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවෙමින්, ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක් පෙන්නුම් කළද අවදානම් තත්ත්වය තවමත් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය හතර වැනි වගන්තිය හෙවත් ‘ආටිකල් 4’ යටතේ 2018 වසර සඳහා වූ ශ්‍රී ලංකාව සමග සාකච්ඡා නිමාවට පත් කරමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් ගෙන එමින් මෙම කරුණු ඉස්මතු කර තිබේ.

මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු එම අරමුදලේ දූත පිරිස පෙබරවාරි 27දා සිට මාර්තු 09දා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සාකච්ඡාවල නිරත වූ අතර, එහිදී විස්තීරණ ණය පහසුකමෙහි සිව්වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ද ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ඔවුන් කියයි.

2017 වසරේ කාලගුණික කම්පන ගණනාවකින් අනතුරුව ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව පෙන්වා දෙන මූල්‍ය අරමුදල, එම හිතකර වර්ධනය හේතුවෙන් 2018 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.4%ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරයි. එමෙන්ම, එය මැදි කාලයේදී 5.5%ක් දක්වා ළඟා වෙතැයි අපේක්ෂා කෙරෙයි. ආහාර මිල ගණන් ස්ථායි වීමත් සමග 2018 වසර අවසානය වනවිට උද්ධමනය 5% දක්වා අඩු වෙතැයිද පුරෝකථනය කරයි.

එමෙන්ම, කාලගුණිය ආශ්‍රිත කම්පන තත්ත්ව සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිමේ ප්‍රමාදයක් හමුවේ වුවද, වැඩසටහනෙහි කාර්ය සාධනය නියමිත ලෙස සිදුවෙමින් පවතින බවද සඳහන් කරයි. මීට අමතරව, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, මූලික දත්ත සලකා බැලීමේදී ප්‍රාථමික ශේෂය 2017 වසර සඳහා අතිරික්තයක් පෙන්නුම් කරන බවද පවසයි. මෑත කාලීන පීඩන හමුවේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව සංචිත රැස්කිරීමේ වේගය ඉහළ නංවන අතරතුර, ණය වර්ධනය අඩුකිරීමට සහ උද්ධමනය ස්ථායී කිරීමට සමත්ව ඇති බවද ඔවුන් පවසා සිටියි.

කෙසේ වුවද, රාජ්‍ය ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම සහ බාහිර ආරක්ෂණ අඩු මට්ටමක පැවතීම හේතුවෙන් තවදුරටත් ආර්ථිකය අහිතකර කම්පනවලට අවදානමට ලක්වෙමින් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඉදිරි දැක්ම පිළිබඳ සැලකීමේදී ඉතා අපහසුවෙන් අත්කර ගන්නා ලද මෙම වාසිසහගත තත්ත්වය සහ සාර්ව සහභාගීත්වයක් සහිත තිරසාර වර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යා යුතු අතර, ප්‍රතිපත්ති රාමු සහ ආයතන වඩාත් ශක්තිමත් කළ යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

මේ සඳහා 2025 දැක්ම උපයා මාර්ගය ඉදිරියට ගෙනයෑමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බව පෙන්වා දෙන ජාත්‍යන්තර මූලය අරමුදල 1.) ආදායම් එක්රැස් කිරීම මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව වඩාත් ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය නීති වඩාත් ශක්තිමත් කිරීම සහ රජය සතු ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීම, 2.) මුදල්, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති රාමු නවීකරණය කිරීම සහ 3.) වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම ආදිය එහි ප්‍රමුඛතා ලෙස පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු කිහිප දෙනෙක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ හා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන්ද හමුවී තිබේ.

More From the Web