රටේ ආණ්ඩුවක් නෑ, මීළඟ පියවර කුමක්ද?

<a href='http://www.slstory.com/?p=31522&preview=true'>රටේ ආණ්ඩුවක් නෑ, මීළඟ පියවර කුමක්ද?</a>

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකු අගමැති සහ අමාත්‍ය තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මේ වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පිළිගෙන තිබේ.

මේ අතර ඇතැම් නීති විශාරදයන්ගේ මතය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විශ්වාසභංග යෝජනාව සම්මත කළ නොවැම්බර් 15 වෙනි දින සිටම රට තුළ නීත්‍යානුකූල ආණ්ඩුවක් නොමැති බවය.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් අගමැති පදවියට පත්කිරීම ජනාධිපතිවරයා යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඊයේ (දෙසැම්බර් 04) අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවූ ජනාධිපතිවරයා, “පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග,” සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

ඇත්තෙන්ම සිදුවිය හැක්කේ කුමක්ද?

මතු වී පවතින තත්වය ගැන විමසීමක් කළ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා කියා සිටියේ, මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ මෙවැනි වාතාවරණයක් මතු වී නොමැති බැවින් මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂී ප්‍රතිපාදන නොමැති බවය.

කැබිනට් මණ්ඩලයක් සහ අගමැතිවරයෙකු නොමැති තත්වයක් තුළ ජනාධිපතිවරයාට සියලු විධායක බලතල පැවරෙන නමුත්, ඔක්තෝබර් 26 වෙනි දිනට පසුව සිදු කෙරුණු පත්වීම් ව්‍යවස්ථාවට අනුකූලව සිදු නොවුණු බැවින් එවක පැවති අගමැති සහ කැබිනට් මණ්ඩලය මේ වනවිටත් බලාත්මක වී තිබෙන බවට මතයක් ඉදිරිපත් වී තිබෙන බව ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය පෙන්වා දෙන්නීය.

“ඉතින් එහෙම තර්කයක් කළොත් අපිට කියන්න පුළුවන් තාම අගමැති ධුරයේ කෙනෙක් ඉන්නවා, තාම කැබිනට් මණ්ඩලයක් තියෙනව කියල.”

අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ජනාධිපතිවරයාට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතින අතර, රටේ අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම ඒ අතරින් පළමුවැනි විකල්පය බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාගේ මතය වී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් මාර්ගයෙන් ජනාධිපතිවරයා ටික කලක් රටේ පාලනය පවත්වාගෙන යාම ඔහු පෙන්වා දෙන දෙවෙනි විකල්පයය.

“මම ජනාධිපතිතුමා නම් මම කියනව එක එක අමාත්‍යාංශවලට විශේෂඥයෝ ගෙනල්ල, ඒගොල්ල මාර්ගයෙන් ප්‍රතිපත්ති හදාගෙන මාසයක් දෙකක් රට පාලනය කරනවා. මම කියන්නේ ජනාධිපතිතුමාට කරන්න පුළුවන් දේවල්.”

නොඑසේනම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කළ ගැසට් නිවේදනය ඉවත්කරගැනීම ජනාධිපතිවරයාට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් බව කථිකාචාර්ය ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් පහකොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියට පත්කිරීම සහ ඉන් අනතුරුව ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීම යන කරුණු සලකා බැලුවහොත්, මේ අවස්ථාවේ විධායක බලතල ජනාධිපතිවරයාට පැවරෙන බව ද ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය ද සඳහන් කළාය.

ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් පහකිරීම අභියෝගයට ලක්කරමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

19 වෙනි සංශෝධනය:

විධායක ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශ බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ.

එවැනි ගැටලුවක් පවතින බව පිළිගන්නා ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා සහ ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය යන දෙදෙනාම පවසන්නේ, වර්තමානයේ මතු වී පවතින තත්වය සම්බන්ධයෙන් පූර්වාදර්ශ නොමැති බවය.

මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට විධායක බලතල ක්‍රියාත්මක කළ හැකි බවට තර්කයක් නැගිය හැකි වුවත්, මෙය කිසිසේත්ම “දිගින් දිගටම පැවතිය යුතු තත්වයක් නොවන” බව පෙන්වා දෙන ආචාර්ය දිනේෂා සමරරත්න, ඒ සඳහා ඉක්මන් දේශපාලන විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නීය.

‘ජනාධිපතිට බලයක් නෑ’

මේ අතර නිවේදනයක් නිකුත්කරන එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල, අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිවරයා වෙත කිසිදු බලයක් පවරා නොමැති බව සඳහන් කර තිබුණි.

“එහෙයින් ජනාධිපතිතුමා, මේ අයුරින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද, වෙනත් ආයතන ද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්වය යන්න සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තිය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා කියා සිටියේ මේ අවස්ථාවේ ඇමති මණ්ඩලයක් නොමැති බැවින්, අදාළ අමාත්‍යාංශය භාර ඇමතිවරයා වශයෙන් නොව විධායකයේ ප්‍රධානියා වශයෙන් ඔහුට ලේකම්වරුන් මාර්ගයෙන් අදාළ අමාත්‍යාංශ පාලනය කළ හැකි බවය.

පවතින ඇමති මණ්ඩලයෙන් වන හානිය වැඩි බව :

“නඩු තීන්දුව සුපරීක්ෂාකාරීව බැලුවොත් පේනවා ඇමති මණ්ඩලයක් නොමැතිවීම නිසා වන හානියට වඩා, පවතින ඇමති මණ්ඩලය දිගටම කටයුතු කරගෙන ගියොත් වන හානිය වැඩි නිසා මේ අතුරු තහනම් නියෝගය නිකුත්කරන බව,” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය පවතින්නේ ජනාධිපතිවරයාට බැවින් එහි මුඛ්‍ය පරමාර්ථය (purposive interpretation), රටේ පවතින්නේ “ජනාධිපතිතුමාගේ පාලනය තියෙන රාජ්‍ය තන්ත්‍රයක්,” බව ද ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා පැවසීය.

කෙසේ වුවත් අදාළ වගන්තිය සලකා බලන විට වෙනත් අමාත්‍යාංශවල කටයුතු මෙහෙයවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය ද පෙන්වා දෙන්නීය.

“මගේ මතය තමයි, දේශපාලන නායකයන් එකතුවෙලා ඔක්තෝබර් 26 වෙනිදා තිබුණු තත්වයට ආයෙත් යන්න ඕන. එතනින් එහාට තමයි ඉස්සරහට යන්න ඕන. මොකද ව්‍යවස්ථාවට අනුකූලව ගත්ත තීරණ ඔක්කොම තියෙන්නේ ඔක්තෝබර් 26 වෙනිදට කලින් නිසා,” යනුවෙන් ද ඇය කියා සිටියාය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ පවතින දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමේ එකම විසඳුම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පමණක් විය හැකි බවය.

More From the Web