රුපියල් පනස් දහසක සහන පොළී ණයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව අලුත් අවුරුද්දේම රජයේ සේවකයින් රැවටූ බවත් රජයේ සේවකයින්ට මෙතෙක් පොලී රහිතව ලැබුණු උත්සව අත්තිකාරම සහ පොත් මිලදීගැනීමේ දීමනාව ද මෙවර නොලැබී ගොස් ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
“අද වෙද්දි මේ රජය බලයට පත්කරන්න කැපවෙලා වැඩ කරපු හැම මට්ටමකම ජනතාව කියන කතාවක් තමයි අපි රැවටීමට ලක්වුණා, ඒ ගැන පසුතැවෙනවා කියන කාරණය. ළඟදි අපි දැක්කා ආසන්නතම රැවටීමකට රජයේ සේවකයින් පත්වෙනවා.
රජයේ සේවකයින්ට කිව්වා, මේ පාර හැම රජයේ සේවකයකුටම රුපියල් 50,000ක ණයක් වැටුපට අනුව ලබාදෙන්න කටයුතු කරනවා කියලා. නමුත් අපි දන්නවා අවුරුදු ගාණක් තිස්සේ රජයේ සේවකයින්ට උත්සව අත්තිකාරම් හැටියට රුපියල් 10,000ක් ලැබුණා.
ඒවගේම රජයේ සේවකයින්ට තමන්ගෙ දරුවන්ට අලුත් අවුරුද්දට පොත් ගන්න වෙනම දීමනාවකුත් ලැබුණා. රජයේ සේවකයින් ඒක හැඳින්වූයේ පොත් සල්ලි කියලා. මේ දෙකම පොළියක් නැතුව වසරක් ඇතුළත පඩියෙන් කපාගන්නට ඒකාලෙ පුළුවන්කම තිබුණා.
ඒත් මේ පාර කිව්වා මේ රජයේ සේවකයින්ට සහන පොළියට රුපියල් 50000ක බැංකු ණයක් දෙන කතාවක්. හැබැයි මේක ගන්න බැංකුවට ගියාම බැංකුවෙන් කියනවා ක්‍රිබ් එකේ නම තියෙනවා නම් ( ණය තොරතුරු කාර්යාංශයේ ) මේ ණය දෙන්න පුළුවන්කමක් නෑ කියලා.
මේ රජය බලයට පත්වුණාට පස්සෙ ක්‍රිබ් එකේ නමක් නැති කෙනෙක් හොයාගන්න එක හරියට කළුනික හොයනවා වගේ වැඩක් වෙලා තිබෙනවා. ඒ තරමටම මේ ආණ්ඩුවෙ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය නිසා ජනතාව ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටිලා තිබෙනවා.
ඒ වගේම පඩියෙන් ණය අරගෙන දැනටත් 40% දක්වා කැපෙනවා නම් මේ 50000 ණය දෙන්න බැරි බවත් බැංකුවලින් පවසනවා. රජයේ මේ 50000 බොරුවට රැවටිලා බැංකුවල පෝලිමේ හිටපු රාජ්‍ය සේවකයින්ට අන්තිමට වෙනදා ලැබුණු පොත් සල්ලිත් නෑ. උත්සව අත්තිකාරමුත් නෑ, දෙනවැයි කිව්ව 50000 ණයත් නෑ. ආණ්ඩුව අලුත් අවුරුද්දේම රාජ්‍ය සේවකයින් ඇන්දුවා.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Leave a Reply