ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය ඊයේ (16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය.
ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියළුම ආගම්වල සිවිල් ජනතාව සමඟ එකතු වීමට තීරණය කර බලවේගයක් ගොඩනැගීමට තීරණය කළ බවද ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මෙම රණවිරුවන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත් මෙම රණවිරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවත් ඔවුන් සමස්ත රණවිරු ප්‍රජාව නියෝජනය නොකරන බවත් යුධ හමුදා ප්‍රකාශකයෙකු අප හා අදහස් දක්වමින් අවධාරණය කර සිටියේය.
මෙම පුද්ගලයන්ට මහින්ද රාජපක්ෂ මහතා හමුවට ගොස් මෙම ඉල්ලීම කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.
මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙන මොහොතක තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය අහිමවන බව තේරුම්ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රණවිරු නියෝජිතයන්ව යවා කෙසේ හෝ අපේක්ෂකත්වය දිනාගැනීමට උත්සාහ කර තිබේ.
එහෙත් එම පුද්ගලයන්ගේ ඉල්ලීම තඹයකට මායිම් නොකළ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පක්ෂය ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ලබන 11 වැනිදා අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් කරන බවත්ය.
Leave a Reply