31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව ගොසිප් මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ ගැන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල කියන කතාව

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ ගැන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල කියන කතාව

හතළිස් හයවැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරී පත්වූ කෙටි නාට්‍ය හා දිගු නාට්‍ය පසුගිය පෙබරවාරි මස 15 වැනිදා සිට 26 වැනිදා දක්වා ටවර්හෝල් රඟහලේදී වේදිකාගත වීම ආරම්භ විය. එම රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය මේ මස 27 වැනිදා සවස 6ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය. මෙම නාට්‍ය උළෙල ගැන කතා කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පුවත්පතක් සමග කරන ලද සාකච්චක් ඔස්සේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සංවාදයට බඳුන් වියයුතු කරුණු ආමන්ත්‍රණය කර තිබුණි.

Qමෙවර පැවත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙල ගැන මුලින්ම කතා කරමු?

මෙම නාට්‍ය උළෙලේ පළමු වටයේදී අත්පිටපත් බැලීමේ සිට සියලු කටයුතු උපදේශක මණ්ඩලයේ උපදෙස් මත තමයි සිදුවුණේ. අවසන් වටය සඳහා විනිශ්චය මණ්ඩල දෙකක් දායක කර ගත්තා. කෙටි නාට්‍ය සඳහා අශෝක හඳගම මහත්මයාගේ මූලිකත්වයෙන් හත් දෙනෙක් විනිශ්චය මණ්ඩලයට දායක කර ගත්තා. දිගු නාට්‍ය සඳහා මහාචාර්ය මංගලිකා ජයතිස්ස මහත්මිය යටතේ හත් දෙනෙක් විනිශ්චය මණ්ඩලයට දායක කර ගත්තා. මෙවර සිංහල දිගු නාට්‍ය අටක් අවසන් වටය නියෝජනයට තේරී පත්වුණා. දෙමළ මාධ්‍යයෙන් නාට්‍ය අවසන් වටය නියෝජනයට තේරී පත්ව තිබුණේ නැහැ. අවසන් වටයට තේරී පත්වූ කෙටි නාට්‍ය දාසයෙන් නාට්‍ය දොළහක් සිංහල මාධ්‍යයෙනුත්, නාට්‍ය හතරක් දමිළ මාධ්‍යයෙනුත් තේරී පත්වුණා.

Qමේ නාට්‍ය උළෙලට උතුරු නැගෙනහිර වැනි දුෂ්කර ප්‍රදේශවල කලාකරුවන්ට සහභාගි වීමේ ගැටලු මතුව තිබුණා. එවැනි නිර්මාණකරුවන් වෙනුවෙන් සිදුකළේ කුමක්ද?

පසුගිය වසරවල නාට්‍ය විනිශ්චයන් සඳහා අදාළ දිස්ත්‍රික්කවලට විනිශ්චය මණ්ඩලය ගියා. එය ප්‍රායෝගික නොවුණත් සිදුකළා. එහෙම වුණාම එක එක දිස්ත්‍රික්ක අනුව ශාලා පහසුකම් ආදී දේවල් වෙනස් වෙනවා. ඒ නිසා අපි මෙවර ඔවුන් කොළඹට ගෙන්වා ගත්තා. ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් දීමනා ලබා දුන්නා. මෙවර දෙවන වටය සඳහා විනිශ්චය මණ්ඩලයේ පස් දෙනෙක් දායක කරගත්තා. එකම විනිශ්චය මණ්ඩලයක, එකම වේදිකාවක් තුළ ඔවුන්ගේ නාට්‍ය වේදිකාගත කළා. නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල නාට්‍යකරුවන්ට කොළඹට පැමිණීමට අපහසු බව දැන්වූ නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල නාට්‍ය පමණක් විනිශ්චය මණ්ඩලය ගිහින් නැරඹීම සිදුකළා.

Qරාජ්‍ය නාට්‍ය උළෙලට උතුරු නැගෙනහිර වැනි ප්‍රදේශවල නාට්‍යකරුවන්ගේ දායකත්වය කෙබඳුද?

ඉතාම උනන්දුවෙන් දායක වුණා. නමුත් ඔවුන්ට වේදිකා නාට්‍ය පිළිබඳ දැනුම නිසි ලෙස ලැබී නොමැති බවක් දකින්න තිබුණා. ඒ නිසාම අපි මේ නාට්‍ය උළෙලට කලින් නාට්‍ය වැඩමුළු කිහිපයක්ම පැවැත්වූවා. මේ නාට්‍ය උළෙල නරඹන්නත් ඔවුන්ට ආරාධනා කළා. ඔවුන් සරච්චන්ද්‍ර නාට්‍ය පාසලේ නවාතැන් ගෙන නාට්‍ය නැරඹීම සිදුකළා. මෙවර ජයග්‍රහණය කරන නාට්‍ය වගේම 2017 වර්ෂයේ ජයග්‍රහණය කළ නාට්‍යයත් ඒ ප්‍රදේශවල වේදිකාගත කරන්න සැලසුම් කරගෙන ඉන්නවා.

Qකලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉවත්කර අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කිරීම නිසා වරක් රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මේ වන විට කිසිම ගැටලුවකින් තොරව මෙය සිදුකළ හැකි වාතාවරණයක් පවතිනවාද?

1956 තමයි සංස්කෘතික දෙපාර්තමේන්තුව ස්ථාපිත වෙන්නේ. 1957 තමයි මුලින්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පවත්වන්නේ. 1952 සිට කලා මණ්ඩලය පැවතුණා. සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් කළ හැම උළෙලකටම උපදෙස් ලබාදීම, මගපෙන්වීම, විනිශ්චය කිරීම ආදී දේවල් වගේම කලාව සම්බන්ධ තාක්ෂණික දැනුම දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා ඒ කටයුතු පවා සිදුවුණේ කලා මණ්ඩලය තුළින්. මේ ගැටලුව සිදුවන්නේ 2015 වසරේදී. ඒ සිදුවීමෙන් පසුවත් කලා මණ්ඩලය හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වුවා. එහෙම කටයුතු කරන්න කිසිම නෛතික ගැටලුවක් තිබුණේ නැහැ.

ඉන්පසු වසරේ සිට කලා මණ්ඩලය සංස්කෘතික දෙපාර්තමේන්තව සමග එක්ව මේ කටයුත්ත සිදුකරන්න එකඟ වුණේ නැහැ. අමාත්‍යාංශ දෙකේම අමාත්‍යවරු දෙදෙනාත්, ලේකම්වරු දෙදෙනාත් මෙය සිදුකරන්න එකඟත්වය පළ කළත්, කලා මණ්ඩලය එයට එකඟ වුණේ නැහැ. ඒ වෙද්දි රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටයත් අවසන්ව නාට්‍ය අනුමණ්ඩලය ළඟ එහි ප්‍රතිඵල පැවතුණා. ප්‍රතිඵල නොලැබීම නිසා අපිට අනෙකුත් කටයුතු සංවිධානය කරන්න නොහැකි වුණා. ඒ අනුව ඒ වසරේ පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව කලා මණ්ඩලය මගින් නාට්‍ය උළෙල පැවැත්වූවා. ඉන්පසුව අපි සුපුරුදු පරිදි නාට්‍ය උළෙල පැවැත්වුවා. අපිට අවශ්‍ය තාක්ෂණික දැනුම, උපදේශකත්වය ලබාගන්න අමාත්‍යතුමාගේ උපදේශකත්වය මත ආචාර්ය මහාචාර්යවරු හා ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුම තිබෙන උපදේශක මණ්ඩලයක් පත්කරන්න සිදුවුණා. ඉන්පසු ඒ උපදේශක මණ්ඩලයේ උපදෙස් මත තමයි උළෙලවල් සංවිධානය කළේ. මේ නම් වෙනස් වුණාට උපදේශක මණ්ඩලයේ ඉන්න විද්වතුන් බොහෝ දෙනෙක් එකම අය.

Qමේ නාට්‍ය උළෙලවලදී සමහර අවස්ථාවල විනිශ්චය මණ්ඩලය සම්බන්ධයෙන් විවිධ විවේචනයන් සිදුවෙනවා. විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය මොකක්ද?

විනිශ්චය මණ්ඩල පත්කර ගන්නේ උපදේශක මණ්ඩලවල නිර්දේශයන් මත. මෙවරත් ඒ ආකාරයෙන්මයි සිදුවුණේ. වැඩි විනිවිදභාවයක් සහ වැඩි අදහස් ප්‍රමාණයක් ලබාගත හැකි නිසා විනිශ්චය මණ්ඩලයට දායක කරගත් ප්‍රමාණය වැඩි වුණා. කෙටි නාට්‍ය අංශයෙත්, දිගු නාට්‍ය අංශයෙත් විනිශ්චය මණ්ඩලය සඳහා හත් දෙනෙකු බැගින් දායක කර ගත්තා. ඒ හත් දෙනා තෝරාගෙන තිබෙන්නෙත් නාට්‍යයක හැම අනුශාංගික කොටසක් ගැනම ආවරණය කළ හැකි අයයි. සති දෙකක පමණ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව තමයි විනිශ්චය මණ්ඩලය පත්කිරීම සිදුවුණේ. ප්‍රායෝගික ගැටලු ඇති වුණත් හොඳ ප්‍රමාණික දැනුම තිබෙන අයයි දායක කර ගත්තේ. විනිශ්චය මණ්ඩල ගත්තොත් විනිශ්චයන් ලබාදෙන්න සවස 4 සිට රාත්‍රී 12 පමණ වනතුරු තර්ක කරමින් තමයි විනිශ්චයන් ලබා දෙන්නේ. නාට්‍ය උපදේශන මණ්ඩලයේ සියලු දෙනා සක්‍රීය කොටස්කරුවන් බවට පත්වෙලා කටයුතු කරනවා. ඒ වගේම මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවැනි වටයේදී නාට්‍යකරුවන්ට ලිඛිතව ප්‍රතිඵල ලබා දෙනවා. ඒ තුළ ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් ඒ මොහොතේම විනිශ්චය මණ්ඩලය සමග කතා කරන්නත් අවස්ථාව ලබා දී තිබුණා. එවැනි කටයුතු පවා සිදුවුණේ වැඩි විනිවිදභාවයක් ඇති කිරීම සඳහායි.

Qනාට්‍ය උළෙ‍ෙලන් පසු ඇගයුම් ලබන නාට්‍ය සමාජගත කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

මෙහි ඇගයුම් ලබන නාට්‍ය මාර්තු මාසයෙන් පසුව පළාත්වලට ගෙන යන්න සූදානම් වෙනවා. එය 2018 නාට්‍යවලට පමණක් අදාළ වන්නක් නොවෙයි. 2017 නාට්‍යත් අපි එලෙස පළාත් මට්ටමෙන් වේදිකාගත කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා. නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම හා රසවින්දනය වැඩි කිරීම කියන වගකීම් දෙකම අපිට තිබෙනවා. ඒ වගකීම් දෙකම ඉටුකිරීමට මේ වන විට විධිමත් වැඩපිළිවෙළක් සැකසී තිබෙනවා. ඒ යටතේ අපි නාට්‍ය කලාව වෙනුවෙන් වැඩමුළු සංවිධානය කරනවා. ඒ වගේම මේ මසදී නාට්‍යකරුවන් පනහක් පමණ සම්බන්ධ කරගෙන ඉදිරි වසර දහය තුළදී නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට කුමක්ද කළ යුත්තේ කියලා සැලැස්මක් හදන්න කටයුතු කළා. මේ දේ හැම ක්ෂේත්‍රයකම සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. නාට්‍යවලින් තමයි මෙය ආරම්භ කරන්නේ.

ප්‍රතිභා ප්‍රභා නමින් සෑම දිස්ත්‍රික්කයකම අපි පසුගිය වසරේ වැඩසටහනක් කළා. එහිදී ක්ෂේත්‍ර දහයකට හැම දිස්ත්‍රික්කයකම අංකුර කලාකරුවන් තිස්දෙනෙක් තෝරාගෙන ප්‍රවීණ කලාකරුවන් සම්බන්ධ කරගෙන වැඩමුළු සංවිධානය කළා. එයින් අපි හැම දිස්ත්‍රික්කයකින්ම දෙදෙනෙක් බැගින් තෝරා ගත්තා. ලංකාවෙම ශිල්පීන් පනස් දෙනෙක්. එහි දෙවැනි අදියර ලෙස මේ වසරේදී අපි ඔවුන් කුණ්ඩසාලේ කලා නිකේතනයේ සති දෙකක නේවාසික පුහුණුවක් සිදුකර තුන්වැනි අදියර ලෙස 2019දී ඔවුන් කරන නිර්මාණවලට සහයෝගය ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඇවිදින පාසල නමින් තරුණ කලාකරුවන් සම්බන්ධ කරගෙන රසඥතාව වර්ධනය කරන වැඩමුළුවක් හැම මාසයකම සිදුකරනවා. පාසල් පද්ධතිය සමග එක්ව %අරුණලු^ නමින් වැඩසටහන් කරනවා. මේ වසර තුළ මේ සඳහා වැඩසටහන් අටසිය අසූහයක් සැලසුම් කරලා තිබෙනවා. එය ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ. නමුත් උපදේශක මණ්ඩලයේ උපදෙස් මත මෙවැනි වැඩසටහන් ගණනාවක් පැවැත්වෙනවා.

Qපළාත් මට්ටමින් නාට්‍ය වේදිකාගත කරන්න යොමු වන විට නාට්‍ය ශාලාවල ඇති පහසුකම් ගැන අවධානය යොමු වෙනවා. ඒ වගේම කොළඹ ගත්තත් ජෝන් ද සිල්වා සමරු රඟහල ගැනත් කතා කරනවා. ඒ කටයුතු සිදුවෙන්නේ කොහොමද?

නාට්‍යවේදීන්ගේ ඉල්ලීමක් තිබෙනවා නාට්‍ය රංග ශාලා සැලසුම් කරන්න ඕන කියලා. තවම එවැනි සැලසුමක් ඇතිකර නැහැ. පාසල්වල රංග ශාලා හා සංස්කෘතික මධ්‍යස්ථානවල තිබෙන රංග ශාලා සම්බන්ධ කරගෙන තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙය පළාත් සංස්කෘතික අධ්‍යක්ෂකවරුන් සමග එක්ව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එයිනුත් උතුරු නැගෙනහිර තමයි මුලින් ආරම්භ කරන්න හදන්නේ. උදේ නාට්‍ය වැඩමුළුවක් හා සවස නාට්‍ය වේදිකාගත කිරීමත් සිදුවෙනවා. එයට අධ්‍යාපන අමාත්‍යාංශයෙත් දායකත්වය ලැබෙනවා. ජෝන් ද සිල්වා සමරු රඟහලේ පළමු අදියර අවසන් කර තිබෙනවා. දෙවන අදියර සම්බන්ධයෙන් BOQ මොරටුව විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත්කර තිබෙනවා. අදියර තුනකින් මෙය සිදුකරන්න තමයි අපි මේ වන විට උත්සාහ කරන්නේ. මේ වසරේ ජෝන් ද සිල්වා රඟහලේ කටයුතු සිදුවෙනවා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

කොළඹින් පිට කොරෝනා මරණ එන්න එන්නම වැඩි වෙනවා

කොළඹින් පිට කොරෝනා මරණ එන්න එන්නම වැඩි වෙන බව හරිත අලුත්ගේ පවසයි. ගෙවී ගිය දින 19 ඇතුළත රෝගීන් 11000ට වැඩි ප්‍රමාණයක් වාර්තා...

පාඨක අදහස්