කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි.
එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස 10කට පසුවය.
සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයින්ට දිවයිනට පැමිණිමට අද සිට අවස්ථාව හිමිවන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.
ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර සංචාරකයින් හරහා කොවිඩ් රට තුළට පැමිණීම වළක්වාලීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද රැසක් හඳුන්වා දී තිබේ.
කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුත් වසරේ මාර්තු 17වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමුණි.
ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වූයේ නැහැ.
එහෙත් මාස 10කට පසු සංචාරකයින් සඳහා අද මෙරට ගුවන් තොටුපොළ යළි විවෘත කෙරුණේ පනස්පන්දහසක් පමණ ආසාදිතයින් සහ 274 ක් වූ මරණ වාර්තා වන අභියෝගාත්මක පසුබිමකය.
කෙසේවෙතත් පැමිණෙන සංචාරකයින් සහ ගුවන් තොටුපළට පැමිණෙන සෙසු මගීන් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක්ද එහිදී සකස් කර තිබේ.
ඒ අනුව පැමිණෙන සියලුම මගීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ගුවන්සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.
මෙරට ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා විවෘත කිරීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පළමු සංචාරකයන් පිරිස රැගෙන අද 21 වන දින අලුයම 2.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැමිණීමට නියමිතව තිබිණ.
ඒ අනුව ශ්‍රී ලංකාවට පිවිසීම සඳහා නේවාසික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන්ට සහ විදේශීය සංචාරකයන්ට බාධාවකින් තොරව අවසරය ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එහිදී සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් තෝරා ගත හැකිය.
ඉන්පසුව අමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර මෙරට දී පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුය.
එහිදී එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දින 01 – 06 අතර ගත කරන්නේ නම් එක් පීසීආර් පරීක්ෂණයක් ද , දින 07 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්නේ නම් තවත් පීසීආර් පරීක්ෂණයක් ද සිදුකළ කළ යුතුය.
මෙරට දී සිදුකරනු ලබන එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලැබේ.
ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් අමෙරිකානු ඩොලර් 12ක් වැයකර කොවිඩ් රක්ෂණ ආවරණයක් ද ලබා ගත යුතුය.
කෙසේ වෙතත් වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපළ විවෘත කිරීම පිලිබඳ විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වී තිබේ.
Leave a Reply