31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව තාක්ෂණික ඇමති චම්පිකගේ වේදිකාව ආක්‍රමණය කළ ලංකාවේ නිපදවූ දියසෙන් රෝබෝ

ලෝක ඉතිහාසයේ සියවස් දෙකකට පසු ලෝකයේ ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට හැරෙමින් තිබෙන මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (27) දින දේශයේ උගතුන්, විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් සහ සමාජ ක‍්‍රියාකාරින් ඇතුළු පිරිසකගේ අදහස් හා යෝජනා පරිදි යකඩ මිනිසුන්ගේ එකතුවක් ඔස්සේ සැකසුණු ජාතියේ ඉදිරි මග සඳහා වූ ‘විමසුම සහ පිවිසුම’ තිරසර ලියවිල්ල නෙළුම් පොකුණ රඟහලේදී ජනගත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

විදේශ මූල්‍ය වෙළෙඳ පොලෙන් ලබාගත් ණය නියම නිශ්චිත දිනයේදී නොගෙවූ විට රට බංකොලොත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පැරණි තාලවලට, පිරිස්වලට, නායකයින්ට මේ නව ත‍්‍රස්තවාදය ජයගත නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙය පරාජය කරන්න නම් තොරතුරු තාක්ෂණය මත පදනම්ව ආරක්‍ෂක අංශ සුහුරු ආරක්‍ෂක අංශ බවට පරිවර්තනය කළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම අවස්තාව සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වුයේ ඇරමැක් නම් ශ්‍රී ලාංකික සමාගමේ නිපදවූ දියසෙන් යන නමින් නම්කළ රෝබෝවක් මගින් අමාත්‍යවරයාට අදාළ ලියවිල්ල පිළිගැන්වීමයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මෙම ලියවිල්ල පාදක කර ගැනීම සඳහා අපි දිවයින පුරා වෘත්තීයවේදීන් දහස් ගණනක් හමුවුනා. ඒහමුවීම්වල ප්‍රතිඵලයක් හැටියටත්, අප නිවසෙ හමු වූ වෘත්තීයවේදීන් හා සමාජක‍්‍රියාකාරීන් පිරිසකගෙ අදහසුත් කැටිකරගෙන මෙය ඉදිරිපත් කළ යුතුයි කියලා මා කල්පනා කළා.

පළමුවෙන්ම මම 2010 වසරේ මම විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා හැටියට ලංකා විදුලි බල මණ්ඩලයට ගිය දවසේ මම බැලූවා ඒ කාලයේ අපේ මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරුවන් ලෙස විභාග සමත්ව 28 දෙනෙකු ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් හැටියට සේවය එක්ව සිටියා ඒ අයගෙන් කී දෙනෙකු සේවයේ යෙදී සිටිනවාද කියා. ඇත්ත වශයෙන්ම තිදෙනෙකුට ආසන්න පිරිසක් තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ලෙස ඉතිරිව සිටියේ.

අනෙක් සියලූම දෙනා විදේශ ගතවෙලයි සිටියේ. මේක තමයි ඉංජිනේරු වෘත්තිය ගත්තත් නිදහස් අධ්‍යාපනයෙන් මතුව තිබෙන වෛද්‍ය කළමනාකරණ, වාස්තු විද්‍යා ඒ වගේම ගණකාධිකාරී ආදී සියළුම වෘත්තීන් ගත්තත් ඇත්ත තත්වය මෙයයි.

පසුගිය දස වසරක කාලය තුළ මේ රටේ ලක්ෂ 25 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා. මේ ලක්ෂ 25 න් 51,000 ක්ම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මතු වූ වෛද්‍ය, ඉංජිනේරු හා ගණකාධිකාරී ආදී වෘත්තීන්ට අයත් අය. මේක සංස්ධනය කර බැලූවොත් අද රජයේ වෛද්‍ය සේවයෙන් 25,000 කට අධික පිරිසක් ජීවත් වෙනවා. ඒ වගේම රජයේ සියළුම සේවාවන්වල සාමාජිකයින් ප‍්‍රමාණය 53,000 කට ආසන්නයි. එයින් ඔබට පෙනෙනවා ඇති පසුගිය දශකයේ 51,000 ක් රටින් පිටව ගොස් තිබෙනවා. අද රාජ්‍ය සේවයේ වෘත්තීයවේදීන් කියලා ඉන්නේ 53,000 යි. ඒ කියන්නේ එයින් පෙනෙනවා මේ රට ඉන්න හිතෙන රටක් නොවන බව, විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් සේවය ලැබූ අපේ වෘත්තීයවේදීන්ට.

ඒ වගේම මේ විසිපන් ලක්‍ෂයෙන් යම් කිසි වෘත්තීය නිපුණතාවයක් ලැබූ ප‍්‍රමාණය දශ ලක්ෂයකට ආසන්නයි. එනම් 40% කට ආසන්නයි. හුඟ දෙනෙක් සිතන්නේ මේ රටේ ගෘහ සේවිකාවෝ ගැන, ඒ වගේම විදේශගත වන ලාභ ශ‍්‍රමිකයන් ගැන. නමුත් මේ රටේ දශ ලක්ෂයකට අධික යම් වෘත්තීය නිපුණතාවය සහිත පිරිසක් විදේශ ගතවී තිබෙනව පසුගිය කාලයතුළ.

ඒ වගේම රටේ ජන ගහණයෙන් තිස් ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක්, එනම් 15% ක් තමන් ජීවත් වන රට බවට විදේශ රටවල් පත් කරගෙන තිබෙනවා. මේක තමයි අපගේ යතාර්ථය. ඒ නිසා තමයි අපේ අමාත්‍යාංශයේ කාර්ය භාරය ලෙස අප තේරුම් ගත්තේ මේ රට ඉන්න හිතෙන රටක් බවට අපි පරිවර්ථනය කළ යුතුයි විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන්, නිදහස් සෞඛ්‍යයෙන් ප‍්‍රතිලාභ ලබන අපේ ජනතාව තුළින් ප‍්‍රතිලාභ ලබන පිරිස්වලට රට ඉන්න හිතෙන තැනක් බවට පත් කළ යුතුයි කියලා.

ඒ වගේම දැන් වර්තමාන කථිකාවතක් ආරම්භ වී තිබෙනවා විශේෂයෙන්ම මේ දෙසැම්බර් මාසයට පෙර රටේ ජනාධිපතිවරයා තෝරාගත යුතු නිසා එම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනකතිකාවතක් ඇති වී තිබෙනවා. ඇතැම් වූ කඳවුරකින් ප‍්‍රකාශ වෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව තමයි ජාතික කාරණය, එමනිසා ජාතික ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි කියලා. පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාව බොහොම ප‍්‍රබලව අපේ මනස්වලට බියජනක සිහින ගෙන දෙමින් පැමිණියා.

නමුත් අපි මතක තබා ගත යුතුයි මේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අද මතුව තිබෙන තත්වය නව ආගමික මූලධර්මවාදී ත‍්‍රස්තවාදය අතීතයේ පැවැති ත‍්‍රස්තවාදයන් මෙන් පාරේ බැරි ගේට් දාලා ලක්ෂ සංඛ්‍යාත විශේෂ බලකායන් පුහුණු කරලා, කාලතුවක්කු හමුදා යොදාගෙන පරාජය කළ හැකි වර්ගයේ ත‍්‍රස්තවාදයක් නොවන බව. 1971 අපේ‍්‍රල් මාසේ 5 වෙනිදා සන්නද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණේ ආධාර කරුවන් රටේ පොලීසිවලට පහර දුන්නා. ආරක්‍ෂක අංශ එය දින කිහිපයක් ඇතුළත මර්ධනය කළා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය දශක තුනකට ආසන්න කාලයක් ලේ වගුරමින් ඇදි ගියා.

බලප‍්‍රදේශ පාලනය කළා. එය කාලතුවක්කු, මිසයිල, ගුවන් යානා, සබ්මැරීන් ආදිය පාවිච්චි කරපු පරිපූර්ණ යුද්ධයක් බවට පරිවර්තනය උනා. ඒ ත‍්‍රස්තවාදයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලයේ ගෙන ගිය ත‍්‍රස්තවාදී හා කැරළිකාරී කි‍්‍රයා කලාපයත් සමග මේ පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදය සංසන්දනය කරන්න බැහැ. ඒවා අතීතයේ අනෙකුත් කැරළිකාරීත්වයන්, ත‍්‍රස්තවාදී කි‍්‍රය මර්ධනය කළ මූලෝපායන්ගෙන් මෙය පරාජය කළ නොහැකියි. මෙය අලූතින් සිතා කටයුතු කළයුතු තත්වයක්.

ඒ නිසා තමයි ශ‍්‍රී ලංකාව මෙය පරාජය කරන්න නම් තොරතුරු තාක්ෂණය මත පදනම්ව අපගේ ආරක්‍ෂක අංශ සුහුරු ආරක්‍ෂක අංශ බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම ඒ ආරක්‍ෂක අංශවල කි‍්‍රයාකාරීත්වයට මුහුණ දෙන විශේෂ බලකා වගේම අපට අවශ්‍යයි සුහුරු ආරක්‍ෂක මෙහෙයුම් ක්‍ෂෙත‍්‍රයක් මෙය ජය ගැනීම සඳහා. එනිසා පැරණි තාලවලට, පැරණි පිරිස්වලට, පැරණි නායකයින්ට මේ නව ත‍්‍රස්තවාදය ජයගත නොහැකියි. ඒකට නව උපාය මාර්ගයක් අවශ්‍ය කරනවා.

අද රටේ ඇතිවෙලා තිබෙනවා දුගී දුප්පත්කම පිළිබඳව අලූත් සාකච්ඡුාවක්. මේ රටේ 1990 දි තමයි බරපතලම දුගී දුප්පත් කම හා විරැකියාව පිළිබඳ ප‍්‍රශ්න තිබුණේ. රටේ තුනෙන් එකක් දුගී කමේ පහත්ම රේඛාවේ යට ජීවත් උනා. රටේ තරුණ තරුණියෝ ඇතුළු විරැකියාවෙන් පෙලෙන ප‍්‍රමාණය රටේ තුනෙන් එකක් බවට පත් වුණා. නමුත් අද තත්වය බෙහෙවින්ම වෙනස්.

අද මේ රටේ දුප්පත්කමේ පහත්ම රේඛාවේ ඉන්නේ 6% ක ප‍්‍රමාණයක්. පවුල් තුන් ලක්‍ෂයක්. ඒ වගේම විරැකියාව පිළිබඳ කාරණය පිටුපස ඉන්නේ 4% කට ආසන්න ප‍්‍රමාණයක්. නමුත් උගත් විරැකියාව 20% කට ආසන්න ප‍්‍රමාණයක් ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමතුන්ගේ විරැකියාව 20% ක් තරම් ප‍්‍රබල බවත් අපි අමතක කළ යුතු නැහැ. කෙසේ නමුත් මේ ප‍්‍රශ්නය අද රටේ මූලිකම ප‍්‍රශ්නය බවට පත් කරගෙන අපට මේ සමාජය ඉදිරියට ගෙනයන්න බැරි මේ සමාජය ඊට වඩා වෙනස් ප‍්‍රශ්න ගණනාවකින්, වෙනස් අභියෝග ගණනාවකින් පෙළෙන නිසයි.

ඊ ළඟට මේ රටේ තවත් බලකඳවුරකින් නැගෙන දෙයක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස, ඒ වගේම ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කිරීම පිළිබඳව තිබෙන කතිකාව. එයත් අපේ රටට ඉතාම අත්‍යාවශ්‍යයයි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව හමුදා පාලනයන් තිබූ රටක් නෙමෙයි. මේ රට ඒකාධිපති ව්‍යූහයකින් පාලනය වනවා දකින්න එක් යකඩ අතකින් පාලනය වනවා දකින්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අද කවරදාකටවත් වඩා අවශ්‍යයයි.

නමුත් අප මතක තබා ගත යුතුයි අපි බලගතු සමාජ ව්‍යසනයක් කරා ගමන් කරමින් තිබෙනවා නම් අපි බලගතු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙනවා නම් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මිනිස් නිදහසට එයින් එල්ල වන තර්ජනය ඒ වගේ කිහිප ගුණයක් බව. ඒ දෙස බලමින් මේ කතිකාවන් තුන දිහාම කල්පනා කරමින් රටේ වෙනත් ආකාරයක ප‍්‍රශ්නයක් පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇතිකර ගැනීමටයි මේ ඉන්න හිතෙන රටක් නමින් අද ජනගත කරන මේ ලියවිල්ල අප නිර්මාණය කර තිබෙන්නේ.

අපි ගත්තොත් අපේ මේ 2019 මුල් අවුරුද්දේ පළවෙනි මාස 6 ගත්තොත් අපගේ භාණ්ඩාගාරයට ඉතාම දුෂ්කර මාස 6 ක්. අපගේ රාජ්‍යයේ පඩිනඩි සහ නඩත්තු කටයුතු සඳහා එදිනෙදා වියදම් සඳහා මේ පළවෙනි මාස 6 දී බිලියන 1,150 ක් වැයකරන්න සිදු උනා. ඒ වගේම ප‍්‍රාග්ධන වියදම්, සංවර්ධන වියදම් සඳහා බිලියන 350 ක් වියදම් කරන්න සිදුවුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ ප‍්‍රාග්ධනවියදමයි වර්තන වියදමයි ගත්තහම බිලියන 1,500 යි. ඊ ළඟට ණයයි පොලියයි ගෙවන්න තිබුණා බිලියන 1,100 ක්. ඒ දෙකේම එකතුව ආසන්නයෙන් බිලියන 2,600ක වගේ ලොකු ගාණක්. කීයද ආදායම මේ මාස හයේ ආදායම බිලියන 900 යි.

ණයය පොලියයි 1,100 යි. වර්තන වියදමයි ප‍්‍රාග්ධන වියදමයි 1,500 යි ආදායම 900 යි. මේ රටට මෙහෙම යන්න පුළුවන්ද? මේ රට ඉදිරි කාලයේදී මෙහෙම ගමන් කළ හැකිද? කියන ප‍්‍රශ්නය අප හමුවේ තිබෙනවා. මේකට සම්ප‍්‍රදායක උත්තරයක් තිබෙනවා. උත්තරය තමයි අතීතයෙත් ඔහොම තමයි. පසුගිය අතීත කාලවලදිත් මේ රට ඔහොම ණය බරක තමයි හිටියේ. ඒ අතීතයේ ඞී.එස්.සේනානායක යුගයේ සිට රට ණය ගත්තා. ණයගන්නේ නැතිව සංවර්ධනය කරන්න බැහැ. ණය අවශ්‍යයි. ඒ වගේම අපි ඒ ණය වලින් සංවර්ධනය කරනවා නම් ප‍්‍රශ්නයක් නැහැ ඒණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්නම් ආදී වශයෙන් තර්ක විතර්ක.

තවදුරටත් ගැඹුරට ගියා නම් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණය බර කොපමණද? එහෙම නැත්නම් රජයේ ආදායමෙන් ණයයි පොලියයි ගෙවන්න වැය කරනවාද? එහෙමත් නැත්නම් විදේශ ණය සංරචකය කොපමණද කියන ප‍්‍රශ්න පිළිබඳව සංඛ්‍යාලේඛන පිළිබඳව වාද විවාද අපි දැක තිබෙනවා. මේ අලූත් ණය අර්බුධය පැරණි ණය අර්බුධය වැනි යමක් නොවන බව ඔබට දැන් පෙනී යනවා ඇත. අතීතයේ අපට තිබුණේ සහණදායී ණය තිබුනේ. සියයට දශම එකේ පොළියට අවුරුදු තිහ හතලිහක් ගෙවන්න. උදාහරණයක් හැටියට කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ ආධාරය අපට ලැබී තිබෙන්නේ .1% පොලියට. වසර 40 කින් ගෙවන්න. අවුරුදු 15 කින් පසුව ගෙවීම ආරම්භ කරන්න.

ඒක සහනදායී ණයක් සහ පොළියක්. ඔබ පෙනෙනවා ඇති වසර 2005 සිට මේ සහණදායී පොලිය හැටියට තිබූ ණය වෙනුවට වාණිජ ණය 8% -10% වාණිජ ණය ප‍්‍රමාණය සීග‍්‍රයෙන් වර්ධනය වෙලා අදවන විට අපේ මුළු ණය බරෙන් 55% ක් බවට අපේ වාණිජ ණය පරිවර්ථනය වී තිබෙන බව. වාණිජ ණය මොනවටද ගන්නේ ඉතාම කාර්යක්ෂමව සීග‍්‍රයෙන් අපට එම ආයෝජනය ලබාදීලා, ඒවා ලබා ගන්න පුළුවන් නම් ණය ගත්තට ප‍්‍රශ්නයක් නැහැ. වාණිජ ණය වලින් පාරවල් හදනවා නම් වාණිජ ණය වලින් ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල් මිනිසුන් එන්නැති සම්මන්ත‍්‍රණ ශාලා හදනවා නම් ඒ වාණිජ ණය ආර්ථිකයට මහා බරක්. භාණ්ඩාගාරයට මහ බරක් ඇති කරනවාට කිසිම සැකයක් නැහැ.

වාණිජ ණය ප‍්‍රතිශතය වගේම තවත් සුවිශේෂී අර්බුදයක් මතුකරලා තිබෙන්නේ විදේශ ණය හිමිකාරත්වය පිළිබඳව.විදේශ ණය ආකාර කිහිපයකින් ලබාගෙන තිබෙනවා අපි. එකක් තමයි පුරුද්දක් ලෙස අපි විදේශ ණය වෙළෙඳපොලට ගිහින් තිබෙනවා. ඉස්සර භාණ්ඩාගාර බිල්පත් රට තුළින් ලබාගත්තේ. නමුත් අද විදේශවලින් මේවා ලබාගැනීමේ ක‍්‍රමයකට අපි ගමන් කර තිබෙනවා.

ක‍්‍රමයෙන් මේ විදේශ මූල්‍ය වෙළඳපොලෙන් ගන්න ණය ප‍්‍රමාණය සීග‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අපි ද්වීපාර්ශවීය ණය ගත්තා නම්, එහෙම නැත්නම් බහු පාර්ශවීය ණය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී බැංකුවලින් බහු පාර්ශවීය ණය ගත්තනම්, එහෙම නැත්නම් ජපානයෙන් චීනයෙන් රාජ්‍යයන් අතර ණය ගත්තානම් ඒවා අපට සාකච්ඡා කර ගන්න පුළුවන්. යම් යම් ආකාරයට ඒවා කල්දාගන්න පුළුවන්. නමුත් මතක තියා ගන්න විදේශ මූල්‍ය වෙළෙඳ පොලෙන් අපි ණය ගත්තා නම් නියම නිශ්චිත දිනයේදී ඒ ණය ගෙවිය යුතුයි. නැත්නම් රට බංකොලොත් වෙනවා.

මේ එළඹෙන සැප්තැම්බර් මාසයේ අපට තිබෙනවා ඒ විදිහේම විදේශ වෙළෙඳපොලේ ණයක් පියවන්න. ඒ ණය අපට නියමිත දවසට පියව ගන්න බැරි උනොත් රට බංකොලොත් වෙනවා. ආර්ජන්ටිනාව, ගී‍්‍රසිය, අයර්ලන්තය, අයිස්ලන්තය ආදී නොයෙක් රටවල් ඉහළ ආදායම් ලබන රටවල්වල සිට මධ්‍ය ආදායම් ලබන රටවල් දක්වා කඩා වැටුණා. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොලෙන් ගත් ණය නිසි දවසට ගෙවාගන්න බැරි වීම නිසා. මෙන්න මේ අර්බුදය අද අප හමුවේ තිබෙනවා. මේක තමයි අද අපට තිබෙන බරපතලම ප‍්‍රශ්නය බවට පරිවර්තනය වෙන්නේ යැයි පැවසීය.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්