31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව විදෙස් පුවත් පර්වේස් මුෂාරෆ්ගේ මරණ දඬුවම නිෂ්ප්‍රභ වෙයි

පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ට ලබාදුන් මරණ දඬුවම නිෂ්ප්‍රභ කරමින් එරට අධිකරණයක් ඊයේ (13) නව නඩු තීන්දුවක් දුන්නේය.

හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනාවලට වරදකරු කරමින් මුෂාරෆ්ට මරණ දඬුවම නියම කිරීමට පාකිස්තානයේ ස්ථාපිත කරන ලද විශේෂ අධිකරණයක් පසුගිය වසරේදී පියවර ගත්තේය.

විශේෂ අධිකරණය දුන් එම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ලාහෝරයේ මහාධිකරණයක් ඊයේ (13) තීන්දු කළේය.

විශේෂ අධිකරණය දුන් තීන්දුව පාකිස්තානයේ හමුදාපතිවරයකු රාජ්‍යද්‍රෝහී චෝදනාවලට වරදකරු කළ පළමු අවස්ථාව ලෙස සනිටුවහන් විය. පාකිස්තානයේ හමුදා ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් එරට දේශපාලනයට ඉහළ බලපෑමක් කරන අතර දේශපාලනඥයන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වයි. ඒ නිසාම ඔවුහු මුක්තිය සහ වරප්‍රසාද විඳිති.

මුෂාරෆ් මේ වනවිට ඩුබායි වෙත පිටුවහල් කර සිටින අතර ඔහුට මරණ දඬුවම නියම කිරීමත් සමඟ රට තුළ විශේෂයෙන්ම ආරක්ෂක අංශ තුළ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය. හිටපු ජනාධිපති මුෂාරෆ්ට මරණ දඬුවම නියම කිරීම හමුදාවල කනස්සල්ලට හේතු වූ අතර එය දේශපාලන වෛරයක් මත දුන් තීන්දුවක් යැයි ද චෝදනා එල්ල විය.

කරුණු සලකා බැලූ ලාහෝර් මහාධිකරණය විශේෂ අධිකරණය දුන් තීන්දුව “නීතිවිරෝධී” යැයි තීන්දු කළේය.
“පැමිණිල්ල ගොනු කළ ආකාරය, අධිකරණයේ ව්‍යවස්ථානුකූලභාවය, නීතිඥයන්, අභිචෝදකයන් කණ්ඩායම තෝරාගත් ආකාරය නීතිවිරෝධී බව කියන්න වුවමනායි. තීන්දුව පැත්තකට දාන්න, අනිත් සියල්ල නීතිවිරෝධීයි” රජය නියෝජනය කළ අභිචෝදක ඉෂ්තියාක් ඒ. ඛාන් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

“ඔව්, දැන් ඔහු නිදහස් මනුස්සයෙක්. දැන් ඔහුට එරෙහිව කිසිම තීන්දුවක් නැහැ” යැයි ඛාන් කීය.

මහාධිකරණය දුන් තීන්දුව “සියල්ල ශුන්‍ය” බවට හැරෙනවා යැයි හිටපු ජනාධිපති ජෙනරාල්ගේ නීතිඥයා වන අෂාර් සිද්දීක් කීවේය.

මේ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පැමිණිලිකාර පාර්ශවයට නව පැමිණිල්ලක් ගොනු කිරීමට සිදුවේ.
හිටපු ජනාධිපති මුෂාරෆ්ට එල්ල වූ රාජ්‍යද්‍රෝහී චෝදනා සම්බන්ධ නඩු විභාගය ආරම්භ වූයේ 2013 වසරේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ස්ථාපිත කිරීමට මුෂාරෆ් 2007 දී තීරණය කළේය. මුෂාරෆ්ට රාජ්‍යද්‍රෝහී චෝදනා එල්ල වූයේ එම තීරණය නිසාය.

අගමැති නවාස් ෂරීෆ් බලයෙන් පහ කරමින් මුෂාරෆ් පළමු වරට බලයට පත්වූයේ 1999 වසරේදීය. ලේ වැගිරීමකින් තොර හමුදා කුමන්ත්‍රණයකින් මුෂාරෆ් එලෙස බලය අල්ලා ගත්තේය.

දුම් සහ විස්කි පානය කරන්නකු ලෙස ප්‍රකට ජෙනරාල් මුෂාරෆ් ඇමෙරිකාවේ සමීප හිතවතකු විය. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් ලසු ඇමෙරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර පර්වේස් මුෂාරෆ් ප්‍රබල සහයෝගයක් දැක්වීය.

මුෂාරෆ් වසර නවයක් ජනාධිපති ධුරය හෙබ වූ අතර එම කාලයේදී අල්කයිඩා සංවිධානය අවස්ථා තුනකදී මුෂාරෆ් ඝාතනය කිරීමට උත්සාහ කළේය.

2007 වසරේ මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාව වන තෙක් මුෂාරෆ්ට ප්‍රබල අභියෝගයක් එල්ල නොවීය. අගවිනිසුරුවරයා ඉවත් කිරීමට ගත් උත්සාහයත් සමඟ පාකිස්තානය තුළ විරෝධතා රැල්ලක් ඇති වූ අතර ඒ නිසා රට තුළ ආරවුල් ඇති විය. ඒ නිසාම හදිසි නීතිය පැනවීමට සිදුවිය.

2007 වසරේ දෙසැම්බර් මාසයේ දී සිදු වූ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ ඝාතනයත් සමඟ රටේ තත්ත්වය අනෙක් අතට හැරුණු අතර මුෂාරෆ් තනිවිය. 2008 වසරේ පෙබරවාරි මාසයේ පැවැති මැතිවරණයෙන් ඔහුගේ මිත්‍ර පාර්ශව පරාජයට පත්වීමත් සමඟ ඔහු තවදුරටත් තනිවිය.

මුෂාරෆ්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනා අතර එය විභාගයට ගැනීමට පෙර ඔහු 2008 වසරේ අගෝස්තු මාසයේදී ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව ඔහු රටින් නෙරපා හැරුණි.

මුෂාරෆ් 2013 වසරේ නැවත පාකිස්තානයට පැමිණි අතර මැතිවරණයට තරග කරන බව ද පැවැසීය. කෙසේ නමුත් නෛතික කරුණු රැසක් එල්ල වූ චෝදනා රැසක් හේතුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීම මෙන්ම ඔහුට රටින් පිටවීමද තහනම් කෙරුණි.

2016 වසරේදී මුෂාරෆ්ට පනවා තිබූ තහනම ඉවත් කරන ලද අතර ඉන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඩුබායි බලා ගියේය. එතැන් පටන් ඔහු ඩුබායි හි කල් ගත කරයි.

2013 වසරේදී මුෂාරෆ්ට එරෙහිව රාජ්‍යද්‍රෝහී චෝදනා ගෙන ඒමට මුල් වූයේ ඔහුගේ ප්‍රතිවාදිය වූ හිටපු අගමැති නවාස් ෂරීෆ්ය.

නඩු විභාගය වසර ගණනක් ප්‍රමාද වෙමින් කල් ගිය අතර අවසානයේදී පසුගිය වසරේදී සියලු දෙනා පුදුමයට පත් කරමින් මුෂාරෆ්ට මරණ දඬුවම නියම කෙරුණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්