31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව මත විමසුම ඉස්සර ඉතාලි ගොස් පැමිණි අය පිරිවරාගත් යාලුවෝ දැන් බලන්නේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්...

ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යනවා යන්න මීට දශක කිහිපයකට පෙර හීනයක් පමණක් බවට පත්ව තිබුණේය. කතෝලික දේවස්ථාන සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයට සහ ඔවුන්ගේ ඥාතීන්ට පමණක් මෙම අවස්ථාව එදවස උදා වී තිබුණේය. ඒත් කලාතුරකින්ය.

ඉතාලියට ගොස් වළං පිඟන් හේදුවත් කෙටි කලකින් ධනවත් වීමට හැකි බව වටහාගත් රට්ටු කුමන ආකාරයකට හෝ ඉතාලිය බලා ගමන් කිරීමට උත්සාහ කළෝය. ඇතැමුන් පොතේ හැටියට වීසා ලබාගෙන ඉතාලියට ඇතුළු වූ අතර තවත් පිරිසක් බෝට්ටු මගින් මුහුදෙන් ​මෙසේ ඉතාලියට පැන ගන්නට උත්සාහ ගත්හ. තවත් පිරිසක් කෙටි කලකට ඉතාලියට යාමට වීසා හදාගෙන එරට දී ගල් වූවෝය. මචං චිත්‍රපටයේ කියැවෙන්නේ මිල්ලෙ සොයා ඉතාලි ගිය පිරිසගේ කතාවක්ය.

ඉතාලියේ රැකියාවන් සඳහා ගොස් සිටින බොහෝ දෙනකු පදිංචිව සිටින්නේ වෙන්නප්පුවේය. මේ නිසා වෙන්නප්පුව ඇතුළු අවට ප්‍රදේශ හඳුන්වන්නේ පුංචි ඉතාලිය යනුවෙනි. පුංචි ඉතාලියේ පදිංචි අයට ඉතාලියට ඇතුළු වීම පහසු කරුණක් විය. ඒත් ඉතාලි ගිය අය යහමින් මුදල් හම්බුකර වෙන්නප්පුව අවට මහා මන්දිර ඉදි කළෝය. මුලින්ම තනි තනිව ඉතාලියට ගිය ඔවුන් පසුව දරු පවුල් සමග එහි පදිංචි වූහ. තරුණවියේ ඉතාලියට ගිය බොහෝ දෙනකු පසුව විවාහ වී එහි දීම දරුවන් ලැබ ජීවත් වන්නට විය.

වසර දෙකක් හෝ තුනක් ඉතාලියේ සේවය කර මෙරටට පැමිණෙන ඔවුහු මාස කීපයක් නිදහසේ ගත කරති. ඒ කුලී පදනම මත ලබා ගත් යාන වාහනවලින් එහා මෙහා යමින්, විවිධ සාද පවත්වමිනි. ඒ සඳහා ඔවුහු විශාල මුදලක් වැය කරති. නමුත් ඔවුන්ට එය ලොකු දෙයක් වන්නේ නැත. මන්ද ඉතාලියේ යූරෝ සහ මෙරට රුපියල් අතර ඇති වෙනස නිසාය. තමන්ගේ ඤාතියකු ඉතාලි ගොස් ආ බව දැනගත් විගස ඔහුගේ හිත මිතුරන් වැල නොකැඩී ඔහු බලන්න මින් පෙර ගියෝය. නමුත් දැන් ඉතාලි ගිහින් ආ අය දුටුවන් ඔවුන්ගේ නෑසිය මිතුරෝ පස්ස නොබලා දුවන්නෝය. කොටින්ම කියනවා නම් ඉතාලි ගොස් ආ අයෙකු දෙස රට්ටු බලන්නේ මරාගෙන මැරෙන ත්‍රස්ත්‍රවාදියකු දෙස බලන්නාක් මෙනි.

ඒ රට වනසන කොවිඩ් වෛරසය මෙරටට රැගෙන ආවේ ඔවුන් යැයි සැක කරමිනි. කොවිඩ් වෛරසය ඉතාලිය වෙලා ගන්නා විට එහි සිටි බොහෝ දෙනකු කඩිමුඩියේ තම මව් රට වන ශ්‍රී ලංකාව බලා පැමිණියහ. මෙසේ කඩිමුඩියේ පසුගිය දින කීපය තුළ මෙරටට පැමිණියේ ඉතාලියේ පදිංචිකරුවන් පමණක් නොවේ. තවත් රටවල් බොහොමයක පිරිස් තම මව් රට බලා පැමිණියේ මොන තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඒ රටවල තිබුණත් ඒ සියල්ලට වඩා ආරක්ෂිතම ස්ථානය ශ්‍රී ලංකාව බව කල්පනා කළ නිසාය.

මෙසේ මව් රටට පැමිණි ඇතැමුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජය විසින් ආරම්භ කර ඇති නිරෝධායන කටයුතුවලට සහභාගී වන්නට විය. ඒ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවලදීය. ඒ අතර තවත් පිරිසක් කුමන ආකාරයට හෝ ගුවන් තොටුපළෙන් රිංගා හොර රහසේ තමන් පෙර පදිංචිව සිටි ගම් බිම් බලා පැමිණියහ. එසේ පැමිණි ඔවුන් නිකම්ම නිකම් සිටියේ ද නැත. මීට පෙර මෙරටට පැමිණි අවස්ථාවලදී මෙන් යාන වාහන කුලී පදනම මත ලබා ගෙන විවිධ සංචාරවලට සහභාගි විය. ඇතැමුන් හිත මිතුරන් වෙනුවෙන් සාද පවත්වන්නට විය. ඒ පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු තැකීමක් නොකරමිනි.

නමුත් ඉතාලිය සහ වෙනත් රටවල්වල සිට මෙරටට පැමිණි කීප දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අනාවරණය වීමත් සමග සියල්ල කණපිට පෙරළී ගියේය. සෞඛ්‍ය නිලධාරීන් ඔවුන් සොයා ගම්බිම් පීරන්නට විය. තමා පදිංචි ගමට පිටරටක සිට මෑතක දී පැමිණි අයෙකු වූයේ නම් වහාම ඒ බව පොලිසියට හෝ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට ඇතමුන් කටයුතු කළේය.

ඒ අනුව දින කීපයක් තුළ කරන ලද විමර්ශනවලදී හෙලිවී ගියේ පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් 1200කට වැඩි පිරිසක් නිරෝධායනය නොවී තමන්ගේ ගම්බිම්වලට පැමිණ සිටින බවය. ඔවුන්ව සොයා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විවිධ තොරතුරු ගත්හ. එපමණක් නොව ඔවුන්ට තමන් පදිංචි කුටුම්බියෙන් පිටතට නොයන ලෙස අවවාද කළේය. ඇතැමුන් අවවාද පිළිගත්තත් බොහෝ දෙනකු පෙර සුපුරුදු ලෙස එහා මෙහා ගමන් කරන්නට විය. ඒ සල්ලිවල ඇති හයිකාරකම හෝ අහංකාරකම නිසා වන්නට ඇත.

පවතින තත්ත්වයේ අනාරක්ෂිත බව දුටු නාත්තණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපුල් ජයතිලක අධිකරණයේ පිහිට පැතුවේය. ඒ තම බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සහාය වන ලෙස ඉල්ලමිනි. ඊට අවසර ලබා දුන් මාරවිල දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් 65 දෙනකුට දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලින් පිටතට නොයන ලෙස නියෝගයක් නිකුත් කළේය.

අධිකරණ තීන්දුව එසේ ලැබෙන විට සෞඛ්‍ය නිලධාරීහු තවත් කටයුත්තක් කළෝය. ඒ තමන්ගේ නිවෙස තුළදීම ස්වයං නිරෝධායනයට ලක්ව සිටි කාන්තාවක් සමාජ ගත කිරීමය. නාත්තණ්ඩිය-දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය ඉතාලියේ සේවය කර මෑතක දී මෙරටට පැමිණ සිටියාය. දින 14ක කාලයක් සෞඛ්‍ය අංශ විසින් දුන් උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ඇය ස්වයංව නිරෝධායනයට ලක් විය.

ඉතාලියේ සිට මෑතක දී මෙරටට පැමිණි බව කියන හලාවත ප්‍රදේශයේ කාන්තාවක් සෞඛ්‍ය නිලධාරීන්ට අවනත නොවී ගමන් බිමන්වල නිරත වන බවට පසුගිය දිනක දැන ගැනීමට ලැබුණි. එම කාන්තාව සොයා ගිය මහජන සෞඛ්‍ය නිලධාරීහු ඇයට තරයේ අවවාද කර රතු නිවේදනයක් නිකුත් කළහ. යම් ආකාරයකට මෙම කාන්තාව කොවිඩ් ආසාදිතයකු නම් මේ වන විට කී දෙනකුට තමන් ත්‍යාගයන් පිරිනමා ඇද්ද යන්න හෙළිවන්නේ හෙට අනිද්දාය.

මේ අතර මුන්දලම පොලිස් ස්ථානය නිරෝධායනය කිරීම පසුගිය 19 වැනිදා සවස සිදු කරන ලදී. මදුරන්කුලිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීම එම තත්ත්වයට හේතුව වී ඇත.

මේ අතර කොවිඩ් වෛරසය ආසාධිත වූවන් බව පවසමින් බොහෝ දෙනකු පසුගිය දින කීපය තුළ පුත්තලම, හලාවත සහ මාරවිල රෝහල්වලට ඇතුළු වී තිබුණි. විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව පිටත් කර හරිණු ලැබුවේ අයි.ඩී.එච්. ගම්පහ, මීගමුව සහ කුරුණෑගල රෝහල්වලටය. ඔවුන් කීප දෙනකුම කොවිඩ් වෛරසය ආසාධිත නොවූවන් බවට හෙළි වී ඇත. නමුත් කීප දෙනකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත. ඒ අතර ගැබිනි මවක් ද සිටීම වැදත්ම කරුණ වී ඇත.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට පුත්තලම දිස්ත්‍රික්කයෙන් පමණක් කොවිඩ් වෛරසය ආසාදිත වූ බවට 07 දෙනකු හඳුනා ගෙන ඇත. ඔවුන් අතරින් දෙදෙනකු සංචාරක මගපෙන්වන්නන් වන අතර සෙසු සියලුම දෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණි පිරිස් වේ. පෙර සඳහන් කළ ගැබිනි මව ද ඒ අතර සිටින්නීය. ඒ අනුව බලන විට මෙතෙක් කොවිඩ් වෙරසය ආසාධිත වූවන්ගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයටය.

ඒ සමගම පුත්තලම දිස්ත්‍රික්කය යනු කොවිඩ් වෛරසය බෙදා හරින මධ්‍යස්ථානයක් බවට සෞඛ්‍ය බලධාරින් විසින් හඳුනා ගන්නා ලදී.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය බොහෝ දුරට කඩා වැටී ඇත. ඇතැම් ව්‍යාපාරිකයන්ට තම කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. සේවකයන් සේවයට වාර්තා නොකිරීමත්, නිෂ්පාදනය කරන දෑ අලෙවි කර ගැනීමට නොහැකි වීමත් සමගය. නිරන්තර ජනාකීර්ණ වන වෙන්නප්පුව, මාරවිල, නාත්තණ්ඩිය, දංකොටුව, හලාවත, පුත්තලම වැනි නගර මේ වන විට පාළුවට ගොස් ඇත. අවශ්‍යම දෙයකට පමණක් නගරයට එන බොහෝ දෙනකු කඩිනමින් ආපසු නිවෙස්වලට දිව යන්නේ වෙන කිසිවක් නිසා නොව කොවිඩ් වෛරසයට ඇති බය නිසාය.

කොරෝනා වෛරසය ආරම්භයත් සමග අපේ රටට මුලින්ම පිරිසක් ගෙන්වා ගත්තේ චීනයේ සිටය. ඒ කොරෝනා වෛරසය ආරම්භ වූ වුහාන් ප්‍රදේශයෙනි. මෙරටට පැමිණීමෙන් පසුව ඔවුන් නිසි පරිදි නිරෝධායනයට ලක් විය. ඒ නිසා ඔවුන්ගෙන් කිසිවෙකුට කොරෝනා වෛරසය ව්‍යාප්ත වූයේ නැත. එසේ නම් මෑතක දී විදෙස් රටවල්වල සිට මෙරටට පැමිණි පිරිස් ද චීනයේ සිට ගෙන්වා ගත් පිරිස ආදර්ශයට ගෙන කටයුතු කළා නම් වර්තමානයේ මෙවන් තත්ත්වයක් අප රට තුළ නිර්මාණය නොවනවා ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්