31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව මත විමසුම කොරෝනා සුව කරන්න ආ දේවගැති උතුරටම කොරෝනා බිය දුන් හැටි

යුධ සමය සිහියට නංවමින් වවුනියාව ඉරට්ටපෙරියකුලම හා වවුනියාව ඕමන්ත ප්‍රදේශයන්හි පොලිස් මාර්ග බාධක යොදා උතුරට පැමිණෙන හා උතුරෙන් පිටවන වාහන පරීක්ෂාවට ලක් කෙරෙයි.

මෙසේ කිරීමට සිදුව ඇත්තේ යුද්ධය හේතුවෙන් නම් නොවේ. කොරෝනා වසංගතය හේතුවෙන් උතුරු පළාතේ මාර්ග බාධක දමන්ට පොලිසියට හා යුධ හමුදාවට සිදුව ඇත.කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම උදෙසා ද පවතින කොරෝනා අවදානම අවම කිරීම වෙනුවෙන් ද උතුරු පළාතේ දිස්ත්‍රික් අතර ගමන් කිරීම නවතා දැමීමේ අරමුණක් ලෙස එලෙස උතුරේ මාර්ග බාධක දමන්ට සිදුව තිබේ.

දිවයින පුරා කොරෝනා රෝගීන් වාර්තා වු මාර්තු මස මුල් සති දෙක තුළ උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශයන්හි කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවීය.

එහෙත් මාර්තු 15 වැනිදායින් අනතුරුව මුළු උතුරු පළාතම අවදානමට ලක් කරමින් කොරෝනා භීතිය ව්‍යාප්ත කරලීමට ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයෙකු හේතුවිය.

ලෝක ව්‍යාප්ත වසංගතයක් වු කොරෝනා රෝගයට සුවය ලබාදිය හැක්කේ තමන්ට පමණක් යැයි පවසමින් ජනතාව මුලා කොට දේව මෙහෙයක් සංවිධානය කොට යාපනය ඇතුළු උතුරු පළාතටම කොරෝනා වසංගතය බෝ කළ දේවගැතිවරයෙකු හේතුවෙන් මේ වන විට උතුරු පළාතම ‘ලොක් ඩවුන්’ වී හමාරය.

පෝල් සට්කුනරාජා නමින් ස්විස්ටර්ලන්තයේ ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේව නිකායේ පියතුමෙකි.හෙතෙම යාපනයේ මුල් පදිංචිකරුවෙකු වන අතර පෝල් සට්කුනරාජා ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගොස් එහිදි ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේව නිකායේ පුජකවරයෙකු බවට පත්ව තිබිණ.

ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේව නිකායේ අනු ශාඛාවක් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ ස්ථාපිත කරන්නේද සට්කුනරාජා දේවගැතිවරයාගේ මූලිකත්වයෙනි.ලෝ වැසියන්ට පවතින රෝග සුව කිරීමේ හැකියාව තමන් සතුවන බවට පවසමින් දේව මෙහෙයන් සංවිධානය කිරීම සට්කුනරාජා දේවගැතිවරයාගේ කාර්යයයි.

වසරකට දෙතුන් වතාවක් යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේවනිකායේ අනුශාඛා දේවස්ථානයට පැමිණෙන සට්කුනරාජා දේවගැතිවරයා යාපනය,වවුනියාව,මන්නාරම,මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි ජිවත්වන සිය නිකායට අයත් පුද්ගලයින් එක්රැස් කොට ලෙඩ රෝග සුව කරන බවට ජනතාව මුලාවට පත්කරමින් සිය මතය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටි බව යාපනය ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කොටගෙන ඇත.

මෙවර යාපනය වෙත පැමිණෙන සට්කුනරාජා දේව ගැතිවරයා ඉලක්ක කරගන්නේ ලෝක වසංගතයක් වු කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා කරලීම උදෙසා තමන්ට හැකි බවත් ඒ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් යාපනය අරියාලෙයි ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේව නිකායේ දේවස්ථානයේ පවත්වන බවට ජනතාව වෙත පවසමිනි.

ස්විස්ටර්ලන්තයේ ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේව නිකාය විසින් අදාළ දේවමෙහෙය සංවිධානය කරන බවට දැන්වීම් යොදා ජනතාව දැනුවත් කරමින් හා ඒ සම්බන්ධයෙන් අත් පත්‍රිකා බෙදාහරිමින් සට්කුනරාජා දේව ගැතිවරයා පුර්ව ප්‍රචාරයන් සිදුකොට තිබිණ.

සට්කුනරාජා පූජකවරයා මාර්තු මස 10 වෙනිදා මෙරටට පැමිණ ඇත්තේ කටුනායක ගුවන් තොටුපලිනි. යාපනයට ඔහු පැමිණෙන අතරවාරයේ අනුරාධපුරයේ හෝටලයකින් පලතුරු යුෂ පානය කොට ඇති අතර ඔහු යාපනය දක්වා පැමිණ ඇත්තේ කුලී රථයකිනි.

යාපනයේ අරියාලේ පූජාව පැවැත්වූ ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේවස්ථානයේ දේවගැතිවරයා නවාතැන්ගෙන ඇති අතර, දේවස්ථානයේ භාරකරු හා ඔහුගේ බැතිමතුන් සට්කුනරාජා දේව ගැතිවරයා වෙත අවශ්‍ය සියළු පහසුකම් සපයාදි තිබිණ.

මාර්තු මස 13 දා දේවගැතිවරයා යාපනය කන්කසන්තුරේ ආදී ප්‍රදේශවල සංචාරය කොට ඇති අතර, යාපනයේ බැංකුවකට ද කන්කසන්තුරේ වෙළද පොළට ද ගොස් භාණ්ඩ මිළදි ගෙන ඇත.

අරියාලේ දේවස්ථානයේ පූජාව 15 වෙනිදා උදැසන හා දහවල් පවත්වා ඇති අතර දේව මෙහෙය වෙනුවෙන් 200 කට වැඩි පිරිසක් සහභාගි වි සිට ඇති බව යාපනය සෞඛ්‍ය අංශ අනාවරණය කොටගෙන තිබිණ.

මාර්තු මස 15 දා රාත්‍රියේ කුලී රථයකින් හෙතෙම ආපසු කොළඹ බලා ඔහු පැමිණෙමින් සිටියදී කිළිනොච්චිය මුරුකණ්ඩි කෝවිල අසලදී විවේක ගෙන තිබේ.

දේවගැතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ මාර්තු මස 16 වැනිදා වන අතර මුලින්ම ඔහු ඩුබායි ගුවන් තොටුපල දක්වා ගොස් අනතුරුව ස්විස්ටර්ලන්තය බලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අදාළ දේව ගැතිවරයා ස්විස්ටර්ලන්තයට යෑමෙන් අනතුරුව කොරෝනා ආසාදනය වි ඇති බවට තොරතුරු හෙළි වි ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් දේව ගැතිවරයාගේ හිතවතෙකු විසින් සාමාජ මාධ්‍ය හරහා දැනුම්දීමක් සිදුකොට තිබිණ.

අදාළ දැනුවත්කිරීම තුළින් දේව ගැතිවරයා කොරෝනා රෝගයට වැළදි ඇති බවත්, ඔහුට සුවය පතා දේව යාඥාවන් සිදුකරන ලෙසට ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් බැතිමතුන්ගෙන් දේව ගැතිවරයාගේ හිතවතා ඉල්ලීම් කොට තිබෙන බව යාපනය ප්‍රදේශවාසීහු පවසති.

කොරෝනා අවදානම දිවයින පුරා ව්‍යාප්ත වන අවස්ථාවේ ශරීරයේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන් යාපනය,තාවඩි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු යාපනය රෝහලට ඇතුළත් වි තිබු අතර, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී ඇත්තේ කොරෝනා රෝගය ආසාදනය වි ඇති බව අනාවරණය වි ඇත.

අසාදිත පුද්ගලයාගෙන් කරුණු විමසීමේදී හෙතෙම පවසා ඇත්තේ තමන් ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා සමඟ ෆිලඩෙල්පියා මිෂනාරි සභාවට අයත් දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තක් සම්බන්ධයෙන් විනාඩි 30 ක කාලයක් සාකච්ජාවක් පැවැත්වු බවකි. යාපනය රෝහල් අධ්‍යක්ෂක ටි.සත්‍යමූර්ති මහතා පවසන්නේ අදාළ කොන්ත්‍රාත්කරු වෙත ස්විස්ටර්ලන්ත දේවගැතිවරයා හරහා රෝගය වැළදි ඇති බවට නිගමනය කරන බවකි. වයස අවුරුදු 42 ක් වන අසාදිත පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත එවා ඇත.

රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ අසාදිතයා ජිවත්වු යාපනය තාවඩි ප්‍රදේශය හා ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා දේව මෙහෙය පැවැත්වු අරියාලෙයි දේවස්ථානය හා අවට ප්‍රදේශයේ විෂබීජහරණය සිදුකළ බවයි.

දේව මෙහෙය වෙනුවෙන් සහභාගිවූවන් වෙත ස්වයං නිරෝධායනය සිදුවන ලෙසට සෞඛ්‍ය අංශ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරමින් සිටින අතර, දේවගැතිවරයා ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද සත්‍යමූර්ති මහතා සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ආණ්ඩුකාරවරිය ‘දේව ගැතිවරයා ඇසුරුකළ පුද්ගලයන් ආරක්ෂක අංශවල අධික්ෂණය මත තමන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් වෙනවා. ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාව සමීපව ඇසුරු කළ පුද්ගලයන් 20 දෙනෙක් හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටිනවා. ඒ අය සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක නිලධාරිගේ අධීක්ෂණයට ලක්වෙනවා. මේ වන විට උතුරු පළාත ලොක්ඩවුන්. තත්ත්වය සලකා බලා ඉදිරියේදී තීරණයක් ගන්නවා’ යැයි පැවසුවාය.

උතුරු පළාතේ යාපනය ප්‍රදේශයෙන් කොරෝනා අසාදිතයෙකු හමුවීම සම්බන්ධයෙන් හා පවතින සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතාගෙන් විමසීමකදී මහේෂන් මහතා පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1729 දෙනෙකු ස්වයං නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවයි.

යාපනය තාවඩි ප්‍රදේශයේ පවුල් 300 කට අයත් පිරිස හා තනි තනි වශයෙන් පිහිටි තවත් නිවාස 80 ක පිරිසක් එලෙස ස්වයං නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

අරියාලෙයි ප්‍රදේශයේ දේව මෙහෙය වෙනුවෙන් සහභාගිවූ පිරිසද ඒ අතර සිටින බැව් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

කොරෝනා වංසගතය නිමාකරන්නට පැමිණි දේව ගැතිවරයා උතුරු පළාතටම කොරෝනා වසංගත භීතියක් හිමිකර දී තිබීම පාඩමක් කරගනිමින් ජනතාව මුලාව පසුපස නොයා සත්‍ය අවබෝධ කර ගනිමින් කටයුතු කළ යුතු බව යාපනය සෞඛ්‍ය බළධාරීහු අවදාරණය කරති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්