31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව මත විමසුම ඉතාලියේ සහ ඇමරිකාවේ ලාංකිකයන් කියන කතා

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය කෙටි කාලයක් තුළ මුළු ලොවම සිය අණසකට යටත් කර ගැනීමට සමත් විය. චීනයේ වූහාන් පළාතින් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට ඉතා ශීඝ්‍රයෙන්  පැතිරෙමින් තිබෙන්නේ ඉතාලිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකටය.

ඉතාලිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලාංකිකයන් රැසක් වාසය කරන රටවත් දෙකකි. මේ වනවිට ඔවුන්ගේ තත්ත්වය කෙසේද යන්න අප සොයා බැලීමට උත්සාහ කළෙමු. මේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඒ පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි.

මිලානෝ නගරයේ පදිංචි වී සිටින කසුන් නිරන්ත මහතා

“දැනට මාසයක විතර ඉඳලා අපි ඉන්නේ ගේ ඇතුළට වෙලා. අපි ඉන්නේ මිලානෝ නගරයේ. මේ ටවුන් එකම දැන් ලොක්ඩවුන් කරලා තියෙන්නේ.

සුපර් මාර්කට් කිහිපයක් විවෘත කරලා තියෙනවා. ඒවාට යන්න පුළුවන් අවසරපත් තියෙන අයට විතරයි. අපිට වෙනම අවසර පත්‍රයක් තියෙනවා. රස්සාවලට යන අයට ඒ අය වැඩකරන ආයතනවලින් ලබාදෙන අවසර පත්‍රයක් ළඟ තියාගන්න ඕනේ. ඒ අවසර පත්‍රය ළඟ තිබුණේ නැති වුණොත් ලොකු දඩයක් ගන්නවා.

අත්‍යාවශ්‍ය ආයතන රැසක් තවමත් වැඩ කරනවා. එයාලගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.

මෙහෙ ඉන්න ලාංකිකයන් අට දෙනෙකු විතර දැනට කොරෝනා හැදිල කියල ලිස්ට් එකේ පෙන්වනවා. නමුත් 50-60 විතර හැදිල තියෙනවා කියලා කටකතා යනවා. එක්කෙනෙක් මිය ගිහින්.

හැම රෝහලක්ම මිනිස්සුන්ගෙන් පිරිලා. මෙහෙ ඉන්න වයස්ගත රෝගීන්ට ශ්වසන යන්ත්‍ර ලබාදෙන්නෙ නැහැ. ඒවා තරුණ මැදිවියේ අයට තමයි ලබාදෙන්නේ. ඒ නිසා අවුරුදු 65ට වැඩි අය තමයි ගොඩක්ම මිය යන්නේ.

රෝහල් සියල්ලම පිරිල නිසා රජයෙන් කියලා තියෙන්නේ නිවෙස්වලට වෙලා ඉන්න කියලා. හදිසියකදී ගිලන්රථවලට කතා කළත් ඔවුන් එන්නෙත් නැහැ. මොකද දැන් තත්ත්වය දරුණු අතට හැරිලා තියෙන නිසා. රෝහලකට ගෙනිච්චත් ප්‍රතිකාර කරන්න බැහැ.

සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා.

නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම තත්ත්වයකට ඉතාලිය වැටිල නැහැ කියලා. ඒ හුවමාරු වන ඡායාරූප වෙන රටක සිදුවීමක්. ඒ වගේ බොරු ප්‍රචාර කිරීම ගැන නම් අපිට ඇත්තටම දුකයි.”

ඉතාලියේ මිලානෝ නගරයේ සිටින නිසල කාවින්ද මහතා,

“මෙහෙ ඉඳලා ලංකාවට ආපු මිනිස්සු හරිම මෝඩයි. අපිටත් ලංකාවට එන්න පුළුවන්කම තිබිලත් අපි ආවෙ නැත්තේ ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා කියල දන්න නිසයි. මේ වෙලාවේ ඔවුන්ට තිබුණේ ඉතාලියේ තමන් ඉන්න තැනටම වෙලා ඉන්නයි. එහෙම හිටපු අය තාමත් නිරෝගීව ඉන්නවානේ. කිසිම මනුස්සයෙක් පැය අටක් දහයක් එක දිගට මාස්ක් එකක් දාගෙන ඉන්නෙ නැහැ. අපි දන්නවද ෆ්ලයිට් එක ඇතුළෙ ඉන්න කෙනාට ලෙඩ හැදිලද නැද්ද කියලා.

මෙහෙ මේ වෙද්දි හැම දෙයක්ම වහලා තියෙන්නේ. නමුත් මාස්ක් නිෂ්පාදනය කරන ආයතන වැඩ කරනවා. එතකොට භාණ්ඩ ප්‍රවාහනය කරන කුරියර් සේවා, ප්‍රවාහන සේවා සියල්ලම වැඩ කරනවා. නමුත් ප්‍රවාහන සේවා භාවිත කරන්න පුළුවන් අවසර පත්‍ර තියෙන අයට විතරයි. සාමාන්‍ය දිනවලදී මෙහෙ විනාඩි පහෙන් පහට වගේ බස් ගියා. නමුත් දැන් පැයකට පැය දෙකකට විතර සැරයක් තමයි යන්නේ.

මේ ලොක්ඩවුන් තත්ත්වය අප්‍රේල් 15 විතර වෙනකල් යනවා කියල ආරංචියි. අප්‍රේල් තුන් වැනිදා දක්වා තමයි දාල තිබුණේ. නමුත් දැන් අප්‍රේල් 15 විතර වෙනකල් යනවාලු. ඉදිරියේදී මෙහෙ පොදු ප්‍රවාහන සේවයත් නවත්වන්න රජයෙන් තීරණයක් අරගෙන තියෙනවා.”

ඉතාලියේ රැකියාවේ නිතර වන ෂෙනාල් අයෙෂ්මන්ත මහතා.

“මෙහෙ ඉතින් හැමදෙයක්ම වගේ වහල තියෙන්නේ. විශේෂ අවසරයක් නැතිව කාටවත් එළියට යන්න බැහැ. එහෙම වුණොත් ලොකු දඩයක් වදිනවා. මෙහෙ තත්ත්වය හැමදාම වැඩි වෙනවා. මම ජීවත් වෙන්නේ මිලානෝවලට නුදුරින් %ලොම්බාර්ඩ්^ කියන ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ තමයි රෝගීන් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ.

ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කියන්නේ ගෙදරටම වෙලා ඉන්න කියලා. ඔවුන් තවම විශේෂ පණිවුඩයක් නිකුත් කරලා නැහැ. කොරෝනා රෝගයට හසුවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ සහන සැලසුමක් ක්‍රියාත්මක කරන්න යනවා කියල ආරංචියක් තියෙනවා. නමුත් ඒක ඇත්තද බොරුද කියලා කියන්න දන්නේ නැහැ.

මගේ රැකියාව ගොඩනැගිල්ලක් බලාගන්න එක. ඒකෙදි මට නිවාඩු නැහැ. මට ඒ රාජකාරියට යන්නට ඕනේ. නමුත් මේ තත්ත්වය නිසා ලෙඩ නිවාඩු දාලා ගෙදරට වෙලා ඉන්නවා. මගේ හිවත් යාළුවෝ වැඩ කරන තැන් නම් මේ වෙද්දි වහලා තියෙන්නේ.

ඉතාලි රජයෙනුත් හැමතිස්සෙම කියන්නේ ගෙදරටම වෙලා ඉන්න කියලා. මේ තත්ත්වය නැති වෙන්න යම් කාලයක් යනවා. ඒ නිසා හැමෝම තමන් ඉන්න තැනින් වෙන තැන්වලට යන්න එපා කියලා මමත් නිරන්තරයෙන් පණිවුඩ නිකුත් කරනවා. ලංකාවේ රජය ලංකාවේ මිනිසුන්ට කරන සේවා පහසුකම් තරම් ඉතාලි රජය මේ වෙනකොටවත් කරලා නැහැ. ඒ අතින් ලංකාවේ රජය ගැන ආඩම්බරයි. මෙහෙ රෝහල්වලට රුසියාවෙන් සහ කියුබාවෙන් වෛද්‍යවරු ආවා කියලා කිව්වා. නමුත් කිසිම අඩු තත්ත්වයක් පේන්නේ නැහැ.

අපිට නිරන්තරයෙන් ලංකාවේ යාළුවෝ ගෙදර මිනිස්සු හැමෝම කතා කරනවා. එයාලත් බයවෙලා ඉන්නේ අපි ගැන.

ඒ වුණාට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉතාලියෙන් තුරන් වෙලා යනකල් අපි ලංකාවට එන්නෙ නැහැ. ලංකාව තවත් අනතුරේ දාන්න බැහැනේ.”

ඉතාලියේ තත්ත්වය එසේ වන අතරේ කොරෝනා වසංගතය තවත් දරුණු ලෙස පවතින ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ලාංකිකයෙකු වන චමුදිත් ප්‍රනාන්දු මහතා නිව්යෝර්ක් නගරයේ තත්ත්වය පිළිබඳව අපට පැවසුවේ මේ ආකාරයෙනි.

“මම පදිංචිවෙලා ඉන්නේ නිව්යෝර්ක් නගරයේයි. මේ වෙද්දි හැමෝම දන්නවා ඇමරිකාව මේ වසංගතයට දරුණු ලෙසින් ගොදුරුවෙලා තියෙනවා කියලා. මෙහි තත්ත්වය එන්න එන්නම දරුණු වෙනවා. නිව්යෝර්ක්වල හිටපු ශ්‍රී ලාංකිකයෝ දෙන්නෙකුත් මේ වෙද්දි කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.

අපි පදිංචිවෙලා ඉන්න නගරය තවම තිබෙන්නේ සාමාන්‍ය ආකාරයටමයි. ලොක්ඩවුන් කරලා නැහැ. කිසිම නගරයක් ලොක්ඩවුන් කරලා නැහැ. වෙනත් රටවල් වගේ ඇමරිකාව යුද්ධයකදී හැර වෙනත් කිසිම අවස්ථාවකදී වසා දමන්න බැහැ. එසේ වසා දමනවා නම් ජනාධිපති විසින් නියෝග කරන්න ඕනේ. නමුත් මේ වනතෙක් ජනාධිපතිවරයා එහෙම නියෝගයක් නිකුත් කරලා නැහැ.

නමුත් මුළු නිව්යෝර්ක් නගරයම පාළුයි. මිනිස්සු ගෙවල්වලට වෙලා ඉන්නවා. අත්‍යාවශ්‍ය දේකට විතරයි එළියට බහින්නේ. ප්‍රවාහන සේවා වෙළෙඳ සංකීර්ණ විවෘතයි. නමුත් ඒවායේ මිනිස්සු ගැවසෙන්නේ නැහැ.

නිව්යෝර්ක් නගරයේ මම පදිංචිවෙලා ඉන්න හරියේ මේ වෙද්දී කොරෝනා රෝගීන් 150-300ත් අතර පිරිසක් ඉන්නවා කියලා ආරංචිය තියෙනවා. ඒ වගේම ලාංකික පවුල් දෙකකටත් කොරෝනා වෛරසය වැළඳිලා තිබෙනවා කියලා ආරංචි පැතිරෙනවා. අපි දැන් සති 4ක විතර ඉඳලා ගෙදරමයි ජීවත් වෙන්නේ. එළියට යනවා නම් මාස්ක් සහ ග්ලවුස් පලඳිනවා.

මේ වෙද්දී ඇමරිකාව මේක වෙනුවෙන් බෙහෙත් සෙයාගෙන තිබෙනවාලු. එය මේ වෙද්දී සාර්ථකයි කියලා ප්‍රචාරය වෙනවා. රෝහල්වල තත්ත්වයට එතරම් ගැටලුවක් නැහැ. අපිට දැන් රෝහලක් ලෙස සැකසූ නැවක් පැමිණ තිබෙනවා.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්